sajith-ranjan

සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම තිබෙන බවත්, එම තීන්දුව සම්බන්ධයෙන් මේ වනවිට පාරිලිමේන්තු මහලේකම්වරයාට අභියාචනාධිකරණ ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ අනුව රන්ජන් රාමනායක මහතාව වහාම පාර්ලිමේන්තුවට ගෙන්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට යුතුකමක් සහ වගකීමක් තිබෙන බව ඊයේ (22)දා රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය. 


මේ අතර රන්ජන් රාමනායක මහතාගේ ජීවිතයට තර්ජනයක් තිබෙන බවත්, ඒ අනුව වහාම අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට කොළඹ වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් සඳහන් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, "විශේෂයෙන්ම රන්ජන් රාමනායක මහතා අදටත් මන්ත්‍රීවරයෙක්. තවමත් මන්ත්‍රීවරයෙක් සහ ඉදිරියටත් මන්ත්‍රීවරයෙක්. මේ පැහැදිලි තීන්දුව මේ වනවිට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට අභියාචනාධිකරණය ලබා දීලා තිබෙනවා නඩුව විභාග වෙලා අවසන් තීන්දුවක් එන තෙක් දැන් කථානායකවරයාගේ යුතුකම සහ වගකීම වන්නේ රන්ජන් රාමනායක මහතාව වහාම පාර්ලිමේන්තුවට ගෙවීන්ම මීට සති කිහිපයකට පෙර රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු සහභාගිත්වය පිළිබඳව මම කථානායකවරයාගෙන් විමසා සිටියා ආරම්භයේදීම එතුමා කිව්වා සති තුනකින් කියන්නම් කියලා. ඉන් පසුව මම පුන පුනා විමසුවා කිහිප අවස්ථාවකම මේ පිළිබඳව. අද වනතෙක් රන්ජන් රාමනායක මහතාව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි කර ගැනීම පිළිබඳව කථානායකවරයා තීන්දුවක් ලබා දීලා නෑ. දැන් හෙට දවසෙත් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබා දීලා තිබෙනවා මම විශ්වාස කරන ආකාරයට. නමුත් රන්ජන් රාමනායක මහතාට ඒ අවස්ථාව නෑ, මම දකින්නේ මේක බලවත් අසාධාරණයක් විදිහටයි. සදාචාරාත්මක අයිතියක් නෑ කථානායකවරයාට දෙවිදියකට මේ පුද්ගලයන් දෙපලට සලකන්න.බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි නීත්‍යනුකූලව ,ව්‍යවස්ථානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව, රන්ජන් රාමනායක මහතාගේ අයිතීන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ වගේම ඔහුගේ මන්ත්‍රී ධුරය ආරක්ෂා කර ගැනීම සඳහා අභියාචනාධිකරණයේ අපි නඩුවක් ගොනුකර තිබෙනවා. ඒ නඩුව තුළින් අපි විශ්වාස කරනවා මේ රටේ ස්වාධීන අධිකරණය හරහා ඔහුට යුක්තියට

සාධාරණත්වය ඉෂ්ඨ වෙයි කියන කාරනාව.ඒ වගේම අපිට දැන ගන්න ලැබී තිබෙන කාරණාවක් වන්නේ මෙම ස්ථානයේ රන්ජන් රාමනායක මහතාව රඳවා තබා ගැනීම ඔහුගේ ජීවිතයට තර්ජනයක්. මම ඔහුත් සමග සාකච්ඡා කළ අවස්ථාවේ මට ලැබුණු තොරතුරු අනුව මම විශ්වාස කරනවා මෙම අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රන්ජන් රාමනායක මහතාව තැබීම ඔහුගේ ජීවිතයට තර්ජනයක්.


රජය වග කියන්න ඕනි රන්ජන් රාමනායක මහතාගේ ජීවිතය පිළිබඳව. ඔහුට කුමන

හෝ කරදරයක් හිරිහැරයක් වුනොත් එහි වගකීම සම්පුර්ණයෙන්ම වත්මන් රජය භාර ගන්න ඕනී. විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා රන්ජන් රාමනායක මහතාව අඟුණුකොළපැලැස්සෙන් වෙනත් සුරක්ෂිත කොළඹ ප්‍රදේශයේ බන්ධනාගාරයකට ඉතාමත් ඉක්මනින් මාර කර යවන කියන කාරනාව. රන්ජන් රාමනායක මහතා හැමදාම මන්ද්‍රව්‍යවලට විරුද්ධව, මන්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට විරුද්ධව සහ මන්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ට විරුද්ධව දැවැන්ත හඬක් නැගුවා. අද ඔහුට සිදු වෙලා තිබෙනවා මන්ද්‍රව්‍ය ව්‍යාපාරයට වගකිවයුත්තන් සමග එකම සිර ගෙදර සිටින්න. මේක ඔහුගේ ජීවිතයට බරපතළ තර්ජනයක්.ඒ වගේම යම් යම් හේතුන් මත මෙම සිර ගෙදර සිටින විවිධ පුද්ගලයන්ගෙන් ඔහුගේ ජීවිතයට හානි වීමේ ඉඩ ප්‍රස්ථාව තිබෙනවා. ඒ නිසා ඔහුට තිබෙන තර්ජනය කවුරුත් අවතක්සේරු කරන්න හොඳ නෑ.මම පැහැදිලිව ප්‍රකාශ කරනවා රන්ජන් රාමනායක මහතාගේ ජීවිතය රැකගැනීම පිළිබඳව මේ රජයට අවශ්‍යතාවක් තිබෙනවා නම් වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ වැලිකඩ බන්ධනාගාරය වෙත ඔහු මාරු කර යැවිය යුතුමයි.” යැයි පැවසීය.

 (දිනේෂ් සමරකෝන්)