migara-gunaratne-issue

නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයෙකු වූ මිගාර ගුණරත්නට පෑලියගොඩ පොලිස් ස්ථානයේදී පහරදීමේ සිද්ධියක් පෙරේදා වාර්තා විය.
මේ වනවිට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භවී තිබෙන අතර පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් තුන්දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙයි.


මිගාර ගුණරත්න සහ පොලිස් නිලධාරින් පිරිසක් අතර ආරවුලක් ඇතිවූයේ පෙරේදා දිනයේයි. පසුගිය 23 වනදා මුදල් වංචාවක් සම්බන්ධයෙන් හෙරොයින් සමඟ නයිජිරියන් ජාතිකයින් 4 දෙනෙකු, බෙලරූස් කාන්තාවන් දෙදෙනෙකු, ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සහ කාන්තාවක් කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගත් අතර එහිදී අත්අඩංගුවට ගත් කාන්තාවක නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ සේවාදායකයෙකු බව පැවසිණි. ඇයට ආහාර පාර්සලයක් ලබාදීම සඳහා මිගාර ගුණරත්න පොලීසියට ගොස් ඇති අවස්ථාවේදී මිගාර ගුණරත්න සිය ජංගම දුරකථනයෙන් ඇයට දුරකථන ඇමතුමක් ලබාගැනීමට අවස්ථාව සලසද්දී පොලිස් නිලධාරියෙකු එය සිදුනොකරන ලෙසට දැනුම් දීමත් සමඟ දෙපාර්ශවය අතර බහින් බස්වීමක් ඇතිවී පහරදීම් සිදුව ඇතැයි දැනගන්නට ලැබේ.



සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ පහරදීමේ සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනයකට අනුව මෙම පොලිස් නිලධාරින් සිව්දෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි.
 සිද්ධියට සම්බන්ධ සියලු පොලිස් නිලධාරින්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර දන්වා ඇතැයිද වාර්තා විය.
පහරකෑමට ලක්වූ මිගාර ගුණරත්න මේ වනවිට රෝහල් ගත වී තිබෙයි.මිගාර ගුණරත්න නීති ශිෂ්‍යයකු වන අතර ‘කෙසෙල් ඇවරිය‘ ලකුණින් එක්සත් ජාතික නිදහස් පෙරමුණ නමැති පක්ෂය වෙනුවෙන් මැතිවරණයට තරග කර ඇත. විමර්ශන දිගටම සිදුවේ.