jayalal rohana passed away

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අද(11) සන්ධ්‍යාවේ රාගම රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය.හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ බව පැවසිණි. මිය යන විට 56 වන වියේ පසුවූ ජයලාල් රෝහණ මහතා දිගු කලෙක සිට උසස් පෙළ සිසුන්ට නාට්‍ය හා රංග කලාව විෂය ඉගැන්වූ අතර ඔහුගේ ගෝලයින් රාශියක් අදාළ ක්ෂෙත්‍රයෙහි අද වෘත්තිකයින් වී සිටී. නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, ලේඛකයෙක්, වේශ නිරූපණ ශිල්පියෙක් මෙන්ම ගුවන් විදුලි නාට්‍ය රචකයෙක්ද වූයේය.


1964 වසරේ උපත ලද ජයලාල් රෝහණ මහතා ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ හා රූපවාහිනියේ සිය සළකුණු තැබුවේය.
ජයලාල් රොහණ මහතාගේ පියා කොට්ටේ කොමියුනිස්ට් පක්ෂයේ භාණ්ඩාගාරික විය. ජයලාල් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ අධ්‍යාපනය ලැබීය. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් (බාහිර) ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේය ඉන්පසු කැළනිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය.
කුඩා කළ සිටම නාට්‍ය විෂයෙහි සමතෙකුවූ ජයලාල් රෝහණ සිංහල නාට්‍යයේ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු වන සයිමන් නවගත්තගම සහ සුගතපාල ද සිල්වා යන අයගෙන් නාට්‍යය හැදෑරීය. ඔහු නවගත්තගමගේ නාට්‍යවලද රඟපෑවේය. පසුව ඔහුට ගුණසේන ගලප්පති මුණගැසුණු අතර මුහුදු පුත්තු නාට්‍යයට තෝරා ගන්නා ලදී. 1982 දී ඔහුට OCIC ශිෂ්‍යත්වයක් ලැබීම නිසා බෙල්ජියමේ මහාචාර්ය රූඩි කොරන්ස් සහ ඒ. ජී. ගුණවර්ධන සහ ට්‍රිලීෂියා ගුණවර්ධන යටතේ බටහිර නාට්‍ය කලාව හදාරන්නට අවස්ථාවක් ලැබුණි.ඔහුගේ ‘ලෝකා‘ නාට්‍යයට 1987 දී සම්මාන ගණනාවක් ලැබුණි.

ඔහු 1986 දී රූපවාහිනී නාට්‍යයට පිවිසි අතර වැඩිපුර ඒකාංගික නාට්‍යවල රඟපෑවේය.


රූපවාහිනියේ විශාල කතාබහක් ඇති කළ ඉසුරු යෝගය කතා මාලාවේ "මුතුමින" චරිතය නිසා ඔහු අතිශය ප්‍රකට විය.සියලු දේ ජ්‍යොතිෂ්‍යය අනුව සිදු කරන එම අපූරු මනමාලයාගේ චරිතය ඔහු විසින් නිරූපණය කළ විශිෂ්ට රංගනයකි. සුමති සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ඔහු ඒ වෙනුවෙන් දිනා ගත්තේය.

ඔහුගේ මංගල සිනමා රංගනය  1995 දී පරක්‍රම නිරිඇල්ල  විසින් අධ්‍යක්ෂණය කරන ලද අයෝමා චිත්‍රපටයෙනි. ඉන්පසු ඔහු නිම්නයක හුදෙකලාව, ටිකිරි සුවඳ සහ සිංහවලෝකනය වැනි චිත්‍රපට කිහිපයකම රඟපෑවේය. ඔහු දොරමඩලාව රූපවාහිනී අධ්‍යාපන වැඩසටහනේ නිරන්තර අදහස් දැක්වීමට ආ විද්වතෙකු ලෙසද ප්‍රකට විය.
විවිධ විෂයන් ගැන සත්‍ය හෙළි කරමින්  ජයලාල් රෝහණ මහතා වරින්වර සිදු කළ ඇතැම් ප්‍රකාශයන් හා සමාජ විවේචන බොහෝ අයගේ ඇගයීමට හේතුවිය.