ඊයේ (17) ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහට රජයේ නිලධාරියෙක් මූණටම බැණ පිටව ගිය සිදුවීමක් වාර්තා විය.


පැය පහකට ආසන්න කාලයක් අධික වෙහෙසකරව තේරුමක් නැති දේවල් කියවමින් රැස්වීම පවත්වාගෙන යාම ගැන කළකිරුණ මෙම නිලධාරියා එහි සභාපතිනිය වූ ගීතාට දොස් කියා රැස්වීමෙන් පිටව ගියේය.
ගීතා කුමාරසිංහ මහත්මිය මුලසුන දරමින් ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරායේදී මෙම රැස්වීම පැවැත්විණි.
සියළු රාජ්‍ය ආයතනවල ගැටළු ප්‍රශ්න හා යෝජනා ගැන සාකච්චා කිරීමෙන් අනතුරුව සභාව අවසන් කිරීමට සූදානම්ව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිලධාරියාගෙන් ඊට අයත් ඇල්පිටිය ප්‍රදේශයේ ඇති ඉඩම් පිළිබද වාර්තාවක් කමිටුවට ලබාදිය හැකිදැයි සභාපතිනි ගීතා කුමාරසිංහ මහත්මිය ඉල්ලා සිටියාය.



එම නිලධාරියාගෙන් කමිටු සභාපතිනිය කළ ඉල්ලිම ඔහු ප්‍රතික්ෂේප කළේය. එවිට ඔහුට අසුන් ගන්නැයි සභාපතිනිය ඉල්ලා සිටිවිට තමන්ට තවත් කාරුණික ඉල්ලීමක් කිරීමට ඇතැයි පැවසූ ඔහු තමන්ගේ නමද පවසා පෙරවරු දහයේ සිට පස්වරු තුන දක්වා රාජ්‍ය නිලධාරින් මෙහි රදවා තබාගෙන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීම නොකළ යුතු බව පැවසීය.

එම අවස්ථාවේදී මන්ත්‍රීවරු ඔහුට දොස්නැගූ අතර පසුව ඔහු සභාපතිනිය ඉදිරියට පැමිණ යළිත් ඊට දෝෂාරෝපනය කරමින් සභාවෙන් පිටව ගියේය. ඉන්පසු සභා රැස්වීමේ කටයුතුද නිමා විය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකුද ඊට පෙර සභාව පවත්වාගෙන යන ආකාරය ගැන දොස් කියමින් සභාවෙන් පිටව යන අයුරු වාර්තා විය.