dead-body-found-mawak-oya

ඝාතනය කර යතුරුපැදියක ගැටගසා හොරණ මාවක් ඔයේ ගිල්වා දැමූ හිටපු හමුදා කොමාන්ඩෝ සෙබළකුගේ
මළ සිරුරක් ඔයේ වතුර අඩුවීමත් සමඟ දිය මතුපිටට පැමිණීමත් සමඟ වැළලෙන්නට ගිය අභිරහස් ඝාතනයක්
ගැන තොරතුරු අනාවරණය වේ.



කොටිකාවත්ත, කොහිලවත්ත ප්‍රදේශයේ  පදිංචිෙකරුවකු බව කියන මියගිය අය ඉකුත් ජනවාරි මස 31 වැනිදා සිට හිටිහැටියේ අතුරුදන් වී තිබිණි. ඔහුගේ බිරිය හා ඥාතීන් ඔහු සොයාගැනීමට දැඩි උත්සාහයක් ගත්තද ඒ කිසිවක් සාර්ථක වී නොතිබිණි.

පසුව ඔහුගේ බිරිය සිය සැමියාගේ අතුරුදන් වීම සම්බන්ධ පැමිණිල්ලක් මේ මස 19 වැනිදා වැල්ලම්පිටිය
පොලිසිය වෙත යොමුකර ඇත. වැල්ලම්පිටිය පොලිසිය  අතුරුදන් වූ බව කියන හිටපු හමුදා කොමාන්ඩෝ
සෙබළා සොයා ගැනීමට ගත් උත්සාහයද සාර්ථක වූයේ නැත. ඔහුගේ බිරිය හා ඥාතීන් සති තුනක කාලයක්
මොහු ගැන සෙව්වද ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොතිබිණි.

ඒ අතරතුර මාවක් ඔයේ මාළු ඇල්ලීම සඳහා ගිය පුද්ගලයකු වතුර මතුපිට පාවෙන පුද්ගලයකුගේ සිරුරක්
දැක මේ බව හොරණ පොලිසියට දන්වා තිබේ.

හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර ඇතුළු කණ්ඩායමක් වහා මාවක් ඔයට ගොස් ඒ පිළිබඳ
පිරික්සද්දී ඉණ හා පාද යතුරුපැදියකට තබා රෙදිවලින් හා ලණුවකින් ගැට ගසා තබූ සිරුරක් සොයාගෙන තිබේ.

පසුව මේ බව අධිකරණයට දැන්වීමෙන් අනතුරුව හොරණ මහෙස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය
මළසිරුර තිබූ ස්ථානයට පැමිණ  මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූවාය.

මියගිය පුද්ගලයාගේ හිස්කබල පමණක් පැහැදිලිව දිස්වුණත් සිරුරේ මස් සියල්ල දියවී ගොස් තිබිණි. දින
ගණනාවක් ජලයේ සඟවා තිබූ නිසා ඔහුගේ මස් දියවී ඇති අතර එ්වා සතුන් විසින්  කා දමා ඇතැයි
පොලිසිය කීවේය.

මෙම පුද්ගලයා ගැටගසා තිබූ යතුරුපැදිය පිරික්සීමට ලක් කළ හොරණ පොලිසියේ නිලධාරීන්ට දැකගත හැකි
වූයේ යතුරුපැදියේ අංක තහඩු දෙකම ගලවා ඇති බවය. පසුව යතුරුපැදියේ චැසි අංකය හා එන්ජින්
අංකය ඔස්සේ විමර්ශන ඇරැඹි පොලිසිය යතුරුපැදිය ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි අයකුට අයත් එකක් බවද
හෙළිවිය.

එහෙත් මෙම යතුරුපැදිය විවෘත ලියකියවිලි මත පුද්ගලයන් කිහිපදෙනකුගේම අතින් අතට මාරු වී තිබූ බව
හොරණ පොලිසිය කීය. එහෙත් යතුරුපැදියේ මුල් අයිතිකරු ගනේමුල්ල පදිංචිකරුවෙකි.



පසුව මේ සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහතාගේ
උපදෙස් මත හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර විසින් සිදුකරන ලද පරීක්‍ෂණ වලින් පසුව
ජලයේ තිබී සොයාගත් පුද්ගලයාගේ සිරුර හා යතුරුපැදියේ තොරතුරු දිවයිනේ පොලිස් ස්ථාන වෙත යොමු
කොට එමඟින් මෙම පුද්ගලයා හඳුනාගැනීමට හොරණ පොලිසිය පියවර ගෙන තිබිණි.

ඒ අනුව වැල්ලම්පිටිය පොලිසිය විසින් තම සැමියා අතුරුදන් වූ බව කියමින් පැමිණිල්ලක් දැමූ කාන්තාවට මේ
සම්බන්ධයෙන් කළ දැනුම්දීමෙන් පසු සොයා ගන්නා ලද සිරුරේ කොටස් තම සැමියාගේ බවත් යතුරුපැදිය තම
සැමියාට අයත් එකක් බවත් බිරිය විසින් හඳුනාගන්නා ලදී.

ඒ අනුව ඇගෙන් ප්‍රකාශයක් සටහන් කළ හොරණ පොලිස් නිලධාරීන්ට ඇය කීවේ ජනවාරි 31 වැනි දින තම
සැමියාට මිතුරකු ලබාදුන් දුරකථන ඇමැතුමක් අනුව ඔහු නිවෙසේ සිට සිය යතුරුපැදියෙන් පිටව ගිය බවය.

මියගිය පුද්ගලයා යුද හමුදා කොමාන්ඩෝ බළකායේ හිටපු සෙබළෙක් බවත් පුහුණුව අතරමඟදී ඔහු නිවෙසට
පැමිණ සේවයට නොගිය බවත් පසුව ඔහු නීත්‍යනුකූලව හමුදා සේවයෙන් ඉවත් වූ බවත් පොලිසිය සිදු කළ
පරීක්‍ෂණවලදී අනාවරණය කර ගෙන තිබිණි.

ඉන් අනතුරුව රෙදිපිළි වෙළෙඳසලක, රූපවාහිනි යන්ත්‍ර අලෙවි හලකද සේවය කර ඇති මොහු කලක්
ත්‍රිරෝද රියක්ද පදවා ඇති බවත් මෑතක් වන තුරු නොයෙකුත් ව්‍යාපාරවල යෙදුණු අයෙක් බවත් පොලිසිය කීය.

මොහුගේ මරණය ඝාතනයක් බව සැක කරන පොලිසිය මොහු හොරණ ප්‍රදේශයට කැඳවා ඝාතනය කිරීමෙන්
පසු පැමිණි යතුරුපැදිය පිටින්ම මාවක් ඔයේ ගිල්වා දමා ඇත්තේ එය සදා අබිරහසක් වන්නට බවට විශ්වාස
කරන බවද පැවසීය.

පානදුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහතාගේ උපදෙස්  මත මෙම පුද්ගල
ඝාතනය පිළිබඳ විමර්ශන හොරණ මූලස්ථාන පොලිසියට අමතරව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය
විසින් සිදුකරන්නට විය.

පසුව මියගිය පුද්ගලයාගේ ජංගම දුරකථනය හරහා ගන්නා විශ්ලේෂණ වාර්තාවලින් දැක්වෙන්නේ සිද්ධිය
වූදා මොහු කොහිලවත්ත හරහා කඩුවෙල දක්වා පැමිණි පසුව හොරණ ප්‍රදේශයේ නතර වී දුරකථන ඇමැතුම්
කිහිපයක්ද ලබාගෙන ඇති බවය.

මේ අනුව හිටපු කොමාන්ඩෝ හමුදා සෙබළාගේ ඝාතනය පිළිබඳ මේ වන විට වැදගත් තොරතුරු  රැසක්
පොලිසිය සතුව ඇති බවත් ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකොට ඝාතකයන් අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය කියයි.
විමර්ශන සම්බන්ධයෙන් වැඩියමක් කීම විමර්ශනවලට හානියක් බවද ඔවුහු කියති.

පානදුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි  සංජය ඉරසිංහ මහතාගේ අධීක්ෂණය හා මෙහෙයවීම
මත හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර ඇතුළු කණ්ඩායමක්ද පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන
ඒකකයද වැඩිදුර විමර්ශන පවත්වති.  


කීර්ති මෙන්ඩිස්