covid19-parliament-sri-lanka

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනකු ඊයේ (16 වැනිදා) නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා ගෙන ඇත. 



 මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, උදය ගම්මන්පිල, තිස්ස අත්තනායක, හර්ෂණ රාජකරුණා, පී. දිගම්බරන්, දිලිප් වෙදආරච්චි, මයන්ත දිසානායක, ඉරාන් වික්‍රමරත්න, සරත් ෆොන්සේකා, මොහොමඩ් මුසම්මිල් ඇතුළු  පිරිසක් මේ අතර වෙති.
අවස්ථා කිහිපයක දී කොවිඩ් මර්දන එන්නත ලබා නොගන්නා බවට ප්‍රකාශ සිදුකළ පූජ්‍ය අතුරලියේ රතන හිමි ද එන්නත ලබාගැනීම සඳහා පැමිණ සිටි බව සඳහන් වේ.

කොවිඩ් එන්නත යුද හමුදා රෝහලේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම ඊයේ (16 වැනිදා)  සිට සිකුරාදා (19 වැනිදා) පස්වරු 12.30 දක්වා සිදුකරනු ඇත.
ඇමැති සී.බී. රත්නායක පසුගිය සතියේ දිනක එන්නත ලබා ගෙන තිබිණි. ඊයේ(16දා) එන්නත ලබා ගත් මන්ත්‍රීවරුන් 19 දෙනා සමග මේ වන විට කොවිඩ් එන්නත ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 20 කි. මන්ත්‍රීවරුන් අට දෙනෙක් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.



මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා, සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, මුජිබර් රහුමාන් සහ හේෂා විතානගේ, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය මෙම අවස්ථාවේදී එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

තමන් එන්නත ලබා ගන්නේ සාමාන්‍ය ජනතාවට එන්නත් මිලියනයක්වත් ලබා දුන් පසුව බව එම මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය වී ඇත.

එන්නත විද ගැනීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස මෙතෙක් තීරණයක් ගෙන නැතැයි පැවැසූ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ප්‍රකාශ කළේ යුද හමුදා රෝහලට ගොස් එන්නත ලබා ගැනීමට තමන් සූදානම් නැති බවයි.කොළඹදී නොව කිලිනොච්චියේදී එන්නත ලබා ගැනීමට තමන් කටයුතු කරන බවද හෙතෙම පැවැසුවේය.