ගෙවුණ සතිය මුලදී මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජය බලයෙන් පහ කිරීමෙන් පසු රටේ හමුදාව සිය ග්‍රහණය තහවුරු කර ගැනීමට උත්සාහ කරමින් පවතින අතර විරුද්ධ මත පැතිර යන අතරේ බ්‍රහස්පතින්දා මියන්මාරය පුරා අන්තර්ජාල හා ප්‍රවෘත්ති සේවා අඛණ්ඩව කඩාකප්පල් විය.
රටේ යථා පරිදි පත්වූ නායක අවුන් සාන් සූ කී උපදේශකත්වය දරන ජනාධිපති වින් මයින්ට් සහ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ (එන්එල්ඩී) ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් දුසිම් ගනනක් සඳුදා අලුයම වැටලීම් වලදී රඳවා ගනු ලැබීය. පැය කිහිපයකට පසු හමුදාව ප්‍රකාශ කළේ මැතිවරණ වංචා පිළිබඳ පදනම් විරහිත චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් බලය අණදෙන නිලධාරී මින් අවුන් හ්ලේං වෙත භාර දී ඇති බවයි. වසරක් සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී.

නිශ්චිත නොවන “ආනයන හා අපනයන” වැරදි සම්බන්ධයෙන් බදාදා අගභාගයේදී සූ කීට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති අතර වින් මයින්ට් රටේ ආපදා කළමනාකරණ නීතිය යටතේ රිමාන්ඩ් භාරයේ පසුවන බව ඔවුන් පවසා තිබේ.

සූ කීගේ රජය නාටකාකාර ලෙස පෙරලා දැමීම ජාත්‍යන්තර අවධානයට ලක් වූ අතර, අන්තර්ජාල ප්‍රවේශය සහ සන්නිවේදනය සඳහා දිගින් දිගටම බාධා ඇතිවීම නිසා සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව මියන්මාරයේ බොහෝ දෙනෙකුට තවමත් පැහැදිලි නැත.

මේ දක්වා, කුමන්ත්‍රණයට එරෙහි ප්‍රතිරෝධය සාපේක්ෂව සීමිත වී ඇති අතර ඊයේ රාත්‍රී වාහනවල ශබ්ද නාද කර විරෝධය පළ කිරීමේ ව්‍යාපාරයක් රටපුරා දියත් කිරීමට සුකී ආධාර කරුවන් කටයුතු කර තිබුණි.

රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට හමුදාව පියවර ගන්නා ලදි. මේ අතර සෞඛ්‍ය සේවකයින් සිය රෝහල් වසා දමා අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බව පවසා ඇති අතර මේ තත්වයන් කොරෝනා වසංගත අවදානම මර්දනයට අහිතකර ලෙස බලපා ඇත.
මියන්මාර හමුදාව විසින් මීට පෙර සිදුකරන ලද ම්ලේච්ඡ මර්දනයන් පිළිබඳ දිගු මතකයන් පැවතීම නිසා සියල්ල ඉවසා විඳදරාගන්නට ජනතාවට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර ඊයේ ඇමරිකාව ඇතුළු ප්‍රබල රටවල් තමන් සහය පළ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරාගත් බුරුම නායකයින්ට පමණක් බව දන්වා ඇත.