සංචාරකයන් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය යටතේ යුක්රේන ජාතික සංචාරකයන් 1500 දෙනකු පසුගිය සති තුනක කාලය තුළ දිවයිනට පැමිණි බවත්, ඉන් මෙරටට රුපියල් කෝටි 42 ක ආදායමක් ලැබුණු බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (18) පැවසීය. 


පසුගිය දෙසැම්බර් 26 වෙනිදා ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් අඩුපාඩු සහ ගැටලු නිවැරදි කර ගනිමින් අනිද්දා (21) සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් දිවයිනට ගෙන්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බවද ඇමතිවරයා මෙහිදී කීවේය.

සංචාරක අමාත්‍යවරයා මේ බව කීවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ (18) පැවැති සාකච්ඡාවකදීය.

ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් සැපයීම සඳහා හෝටල් 180ක් පමණ හඳුනාගෙන තිබෙන බවත්, මෙම හෝටල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් බවත් හෙතෙම සඳහන් කළේය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ්-19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි ගතයුතු සියලු පියවර ගෙන ඇති බවත් ඔහු කීවේය.

මෙරටට පැමිණෙන සංචාරකයන් සංචාරක බුබුළක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත අතර පැමිණිමට පැය 72කට පෙර ඔවුන් පී.සී.ආර්. පරික්ෂාවකට ලක්විය යුතු බවත් මෙරටට පැමිණීමට ඉඩ ලැබෙන්නේ කොවිඩ් ආසාදිත නොවන බවට එම පරික්ෂණයෙන් තහවුරු වන සංචාරකයන්ට පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.

සංචාරකයන් පැමිණෙන හෝටල්වල කාර්යමණ්ඩල මෙම සංචාරක බුබුළට අයත් වන බැවින් ඔවුන්ටද සාමාන්‍ය සමාජය සමග ගැවසීමට ඉඩක් නැතැයි ඇමතිවරයා පැවැසීය.
- තිළිණි ද සිල්වා -