දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 10ක නින්දාසහගත පරාජයක් අත්විදීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (05දා) සිදුවිය.  මෙම තරගය දින තුනක් තුළ අවසන්වීමද සුවිශේෂී වෙයි. මේ අනුව තරග 2-0ක තරගාවලි පරාජයක් වැලද ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 67ක පහසු ඉලක්කය එකඳු කඩුල්ලක් හෝ නොදැවී සම්පුර්ණ කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ ඒඩියන් මාක්රම් ලකුණු 36ක් හා ඩීන් එල්ගා ලකුණු 31ක් රැස්කිරීමට සමත් වූහ.  
දිමුත් කරුණාරත්න හැර සෙසු පිතිකරුවන්ගේ වගකීම් විරහිතභාවය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට  දෙවැනි ඉනිමේදීද රැස්කිරීමට  හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 211ක් පමණි. එහිදී ආරම්භක පිතිකරු මෙම නායක දිමුත් පන්දු 128කදී ලකුණු  103ක් රැස්කිරීමට සමත් විය. කෙසේ  නමුත් නිරෝෂන් දික්වැල්ල ලකුණු 36ක් හා ළහිරු තිරිමාන්න ලකුණු 31ක් රැස්කරමින් සැලකිය යුතු දායකත්වයක් 
කණ්ඩායමට ලබාදුන්නද, සෙසු පිතිකරුවෝ සියල්ල අසාර්ථක වූහ. එහිදී තරගාවලිය තුළ යම් තරමක  සාර්ථකත්වයක් පෙන් වූ කුසල් ජනිත්ගේ ඉනිම එක් ලකුණකට සීමා වූ අතර, කුසල් මෙන්ඩිස් මෙවරද ලකුණු නොලබාම පිටියෙන් ඉවත් විය.


 මෙම තරගාවලියේ කුසල් ලකුණු නොලබා අඛණ්ඩව දැවීගිය තෙවැනි අවස්ථාව මෙය වූ අතර, එය ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලකුණු නොලබා දැවීගිය 11වැනි අවස්ථාවද විය. මීට අමතරව කුළුදුල් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ මිනෝද් භානුකද එක් ලකුණකට සීමාවද් දී දසුන් ශානක රැස් කළේ ලකුණු 08ක් පමණි. තෙවැනි දිනට ඊයේ (05දා) තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම් ලකුණු 150/4ක් රැස්කරගෙන යම් ස්ථාවරත්වයක් ගොඩනගමින් සිටියේය. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 05ක් ඉදිරියෙන්ද සිටියේය.


ඒහිදී ඉනිම ගොඩනැගීම සඳහා තනිව සටනක් ලබාදෙමින් කඩුල්ලේ රැදී සිටි දිමුත්, ලකුණු 91ක් රැස්කරගෙන සිටියද, ඔහුට තවදුරටත් සිය ඉනිම දීර්ඝ කිරීමට හැකිවූයේ තවත් ලකුණු 12කින් පමණි. සිය 10වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ දිමුත්, දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. එම දැවීයාමත් සමග ශ්‍රී ලංකා ලකුණු පුවරුව 5/176ක් ලෙස සටහන් විය.


කෙසේනමුත් ඉන් අනතුරුව ඉනිමට එක්වූයේ තවත් ලකුණු 35ක් පමණි.  සමස්ත ශ්‍රී ලංකා ඉනිම දකුණු අප්‍රිකානු ග්‍රහණයට නතු විය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබාදිය හැකිවූයේ ලකුණු 67ක ඉලක්කයක් පමණි. ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ ලුන්ගි න්ගිඩ් කඩුලු 04ක් දවාගත් අතර, ලුතෝ සිපම්ලා කඩුලු 03කින් දායක විය.


ජොහැන්නස්බර්ග්හිදී පසුගියදා  (03දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කළ හැකිවූයේ  ලකුණු 157ක් පමණි. ඊට පිළිතුරු  ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු  ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 302ක් රැස්කිරීමට සමත් විය.   තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස ඩීන් එල්ගා සම්මාන දිනා ගත්තේය.