මිලියන දෙකක් ජය ගන්න සිහින මවපු ඇය  මේ මොහොත වන විට මිලියන විස්සක ජනතාවගේ ආදරය දිනාගෙන තියෙනවා. ලෝකයේම සිංහල භාෂාව දමිළ භාෂාව කතා කරන ශ්‍රී ලාංකේය සුවහසක් ප්‍රේක්ෂක ප්‍රජාව දැන් ඇය ගැන එක එක පැති මාන ඔස්සේ කතා කරනවා. ඇයගේ දේශපාලනය ගැන,  කාන්තා අයිතිවාසිකම් ගැන, තරුණියක් යුවතියක් හැටියට ඉදිරිපත් වීම පිළිබඳව, ඇය නියෝජනය කරන ආගම සහ ඒ ආගම ඇසුරින් ඇය ලබාගෙන තිබෙන හික්මීම පිළිබඳව, ඇයගේ දැනුම පිළිබඳව, ශ්‍රී ලංකාවේ භාෂා හා ඉතිහාසය පිළිබඳව එක එක පැති වලින් එක එක විදියට ඇය ගැන කතා කරනවා.

ඔබ දන්නවා ඇය දැන් කවුද කියලා. මේ වෙලාවේ ලංකාවේ ජනප්‍රියම තැනැත්තිය ඇයයි. ඇය ශුක්රා. අපි ශුක්රව හමුවෙනවා ජයග්‍රහණයෙන් පස්සේ ඇයත් සමඟ පළමු වරට ඒ පිළිබඳව කතා කරන්න.

මේ වන විට මේ ගැන හැමෝම දන්නවා. අපි සූදානම් වන්නේ නොදන්න දෙයක් ගැන කතා කරන්න.


මා කැමතියි හරියට ඔබේ නම දැනගන්න.


ශුක්රා මුනව්වර්

ශුක්රා ඔබ තාම පාසල් යන දැරවියක්. ගාල්ලේ හයිවේ එකෙන් එලියට ආපු ගමන්ම ඒ ආසන්නයේ ගෙදරක පදිංචි වෙලා ඉන්නවා. තාත්තා අසනීපෙන් කිව්වා. අම්මා ඔබත් එක්ක හැමතිස්සෙම ඉන්නවා.
මං කැමතියි කතා කරන්න ශුක්රා මිලියන දෙකක්. ඔබේ සතුට ඉහවහා ගිහිල්ලා ඔබ කිව්වා මිලියන 20ක් දිනන්නයි මං ආවේ කියලා.

ඔව්. ඒක ඇත්තටම සතුට වැඩිකමට මට කියවුණා. මම කියාගෙනම තමයි ආවේ කොහොම හරි මම යනවා හොට් සීට්. ගිහිල්ලා මිලියන දෙකම ගන්නවා කියලා. ඒත් මට එතනදි දැනුණ සතුට මට කියාගන්න බැරිවුණා. ඒ සතුටටම මට කියවුණා මම මිලියන 20ක්ම ගන්නවා කියලා.

ඔබ මිලියන 20ක් ගත්තා. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය කොයි රටක, කොයි තැනක, කොයි විදියට හිටියත් ඔබට ජාති ආගම් කුල කිසිම භේදයක් නැතුව හැමෝම ආදරය කරනවා. ඒ ආදරය කොහොමද ඔබ භාර ගත්තේ? දරාගත්තේ?

ආදරය කියන්නේ මේ මගේ ශ්‍රී ලාංකික ජාතිය. අපි හැමෝම ශ්‍රී ලාංකික ජාතියේ. ඇත්තටම මගේ ජාතිය මට උපහාර කරනකොට, ප්‍රාර්ථනා කරනකොට, සුභ පතනකොට මම කවදාවත් සතුටු වෙන්නේ නැතුව ඉන්නේ නෑ. මට එහෙම ඉන්නත් බෑ. මගේ රටේ ජනතාව මට කරන මේ සුබ පැතුම් ප්‍රාර්ථනා හැමදෙයක්ම මගේ හදවතින්ම පිළිගන්නවා. ඒ වගේම මම හැමෝටම ගොඩක්ම ස්තූතියි කයලත් කියනවා. ඇත්තටම අපි හැමෝම ශ්‍රී ලාංකේය ජාතිය. අපි හැමෝම ශ්‍රී ලාංකිකයි. අපි හැමෝම එකතුවෙන් සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි මගේ එකම අරමුණ. ඒක තමයි මට ලෝකයට කියන්න ඕනවුණේ. අපේ රටට කියන්න ඕනවුණේ. ශ්‍රී ලාංකික ජාතිය කියන්නේ ගහමරා ගන්න ජාතියක් නෙවෙයි. අපි එකතු වුණොත් කාටවත් අපිව නවත්තන්න බෑ කියලා මට පණිවිඩයක් දෙන්න ඕනි වුණා. ඇත්තටම මම සිරස ලක්ෂපති වැඩසටහනට එන්නේ මට ඔන්ලයින් ඉගෙන ගන්න ලැප්ටොප් එකක් ගන්න. ඇත්තටම මට අන්තර්ජාතික වේදිකාවක් ලැබුණා. කතා කරන්න හැම දෙයක්ම. ඒ අවස්ථාව ලබා දුන්න සිරස ටීවී එකට සිරස ලක්ෂපති වැඩසටහනට හැමෝටම ස්තූතියි. ඒ වගේම මාව තේරුම් අරගෙන මට ගොඩක් මට ගොඩක් ප්‍රාර්ථනා කරපු මට සුබ පතපු මගේ ශ්‍රී ලංකාවේ හැම කෙනෙකුටම පොඩ්ඩන්ටයි ලොක්කන්ටයි හැමෝටම ගොඩක්ම ස්තූතියි. ඇත්තටම මට ෆෝන් එකක් නෑ. මම ෆෝන් පාවිච්චි කරන්නේ නෑ. මගේ අක්කගේ ෆෝන් එකෙන් තමයි මගේ official page එකක් open කරේ. ඇත්තටම මට එන comments likes මට හිතාගන්න බෑ මටද මේවා එන්නේ කියලා. youtube එකේ වුණත් මට comments කියවනකොට මට සතුට දරාගන්න බෑ. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මගේ රටේ ජනතාව මට මෙහෙම සුභපතනකොට ඇත්තටම ගොඩක්ම සතුටුයි.

දැන් මේ ඔබ ලබාගත්ත ජයග්‍රහණයේ අයිතිය පංගුවේ හිමිකාරිත්වය කාටද ලබා දෙන්නේ?

ඕනෙම කෙනෙක්ට ජයග්‍රහණය කරන්න ඕනේ නම් ඕනෙම දේක අපිට අවස්ථාව ලැබෙන්න ඕනේ. නැත්තම් අපි අවස්ථාවක් හොයාගන්න ඕනේ. මෙතනදි මම අවස්ථාවක් හොයන් යනකොට මගේ අම්මා මට ගොඩක් උදව් කළා. ඒ කිව්වේ  ඇත්තටම මගේ අම්මා නිසා තමයි මට හැමදේම ලැබුණේ. මගේ අම්මයි තාත්තයි නිසා. ඒ වගේම මම අවස්ථාවක් හොයන් යනකොට සිරස ලක්ෂපති වැඩසටහන තමයි මට අවස්ථාවක් හොයලා දුන්නේ. ගොඩක් අවස්ථාවල මම ප්‍රතික්ෂේප වීම් වුණා. විවේචනයන් වුණා. විහිළු තහළු වුණා. ඒ කිසිම දෙයක් මම ගණන් ගත්තේ නැහැ. සිරස ලක්ෂපති වැඩසටහන මට අධ්‍යාපනික අතින් ගොඩක් වටිනවා. මේ වැඩසටහනින් තමයි මට අවස්ථාවක් දුන්නේ. අවස්ථාවක් දීලා ඒගොල්ලෝ බලන් හිටියා. මම මගේම මර්ගයේ හරියටම ගියා. එහෙම ගිහිල්ලා තමයි මට මේ වගේ ජයග්‍රහණයක් මේ වගේ සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් වුණේ. ඇත්තටම සාර්ථකත්වයට ගමන් කරන මගේදී ජය පරාජය කියන එක ගණන් ගන්න ඕනේ දෙයක් නෙවෙයි. ඇත්තටම මම මේ මොහොතේදී පරාජය වෙන්න තිබුණනම් මම ආයිමත් අතඅරින්නේ නෑ. කවදාවත් මගේ අවස්ථාව මම අතඅරින්නේ නෑ. මම ආයිමත් ආයිමත් අවස්ථාවක් හොයනවා. මගේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාවක් හොයනවා. ඉතින් මම හැමොටම කියන්නේ ජය පරාජය කියන එක ඕනෙම දේක තියන නිකන් වචන දෙකක් විතරයි. ඒක වැඩිය හිතට ගන්න යන්න එපා. මොනම අවස්ථාවකදි හරි ඔයා පරාජය වුණොත් බය වෙන්න එපා ජය කියන එක අනිත් පැත්තේ තියනවා. හැමෝම එක පැත්තක් ගැන තමයි හිතන්නේ. ඒ නිසා අපි හිතන්න ඕනේ අපිට පරාජයක් ලැබෙනවනම් අපි කවදාහරිම ජයක් ලබනවම තමයි කියලා.  

එහෙමද ලක්ෂපති වැඩසටහනට ඔබ සුදුසුකම් ලබන්නේ?

මට මතක ඇති කාලේ ඉඳලා ඇත්තටම කිව්වොත් 5 වසරේ ඉඳලා මම ලක්ෂපති නැරඹුවා කිව්වොත් හරියටම නිවැරදියි. අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් ලක්ෂපති ඇවිල්ලා දෙවෙනි අදියරේ බලපු එක මට හොඳට මතකයි. ඒත් එතනදි හිතුවේ නෑමම ලක්ෂපති ගිහින් මිලියන දෙකක් ගනී කයලා. ඇත්තටම මේ කොරෝනා වසංගතයේදී මට ඔන්ලයින් ප්‍රශ්නය පැන නැගුණා. ඇත්තටම මට ඕනේ ජීවිතේ සාර්ථක ගමනක් ගිහිල්ලා එතන්ට ඇවිල්ලා කතා කරන්න. ඒත් මම කවදාවත් හිතුවේ නැහැ මෙතන සාර්ථක වෙලා ජීවිතේ හොඳ ගමනක් යන්න ලැබෙයි කියලා.

ශුක්රා ඔබ ඉතාම ප්‍රියමනාපයි. ලස්සනයි. හැමෝගෙම ආකර්ශනය දිනාගන්න ඔබට පුළුවන්. මම කැමතියි ඔබෙන් රහසක් දැනගන්න. ඔබ මේ වගේ ගැඹුරට හිතලා මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ප්‍රශ්න ටිකට උත්තර දීලා ජයග්‍රහණය නෙවෙයි මේ රට කතා කරන්නේ. ඔබ මේ තරම් පෞරුෂයකින් මෙය කළමණාකරණය කරගෙන මෙහෙම ගැඹුරට හිතලා කතා කරන්න හැකියාව ලබාගත්තේ කොහොම ද?


මම ඇත්තම කියන්නම්. පොඩිකා‍ලේ ඉඳලාම මට එච්චර ඉගෙන ගන්න ඕනේ වුණේ නෑ. මට ඕනේ වුණේ අම්මත් එක්ක ඉන්න. ඉස්කෝලේ ගියත් මගේ වැඩේ අඬන එක ගෙදර එන්න ඕනේ කියලා. එතකොට මම එච්චර යාළුවොත් එක්ක එහෙම කිසි දෙයක් තිබුණේ නැහැ. මම හය වසරෙදිත් එහෙම අඬලා තියනවා. ඇත්තටම ඒ අම්මට තිබුන ආදරය හින්දා අම්මව දාලා කොහෙවත් යන්න බෑ. මට 8 වසරේ වගේ වෙනකොට මට ඔක්කොම තේරෙන්න පටන් ගත්තා. ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තොත් තමයි මට හොඳ තැනකට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම හැමදෙයක්ම කරන්න පටන් ගත්තා. මට ඕනේ වුණා හැමදෙයක්ම දැනගන්න අත්හදා බලන්න. ඉගෙන ගන්න ගමන් අමතර හැමදෙයක්ම කළා. එතකොට මගේ  personality එක Improve වෙන්න පටන් ගත්තා. ඒ දේවල් කරන්න යනකොට හිතේ පොඩි බයක් තිබුණා. ඒත් හැමදේම කරනකොට මගේ බය නැති වුණා. තාමත් මට බය දැනෙන්නේ නෑ. 11 වසර වෙනකොට දැන් ශුක්රා වෙනම කෙනෙක් වෙලා තියෙන්නේ. මමම තමයි මගේ හිතට දැඩි ධෛර්යයක් අරගෙන මට තියෙන දෙයින් ආත්ම තෘප්තියක් ලබාගෙන මම හිතුවා අපිට නෑ තමයි. ඒත්  කවුරුවත් දෙනකන් බලාගෙන ඉන්න හොඳ නැහැ. අපි ඒ දේ කොහොම හරි ලබා ගන්න බලන්න ඕනේ කියලා. අපේ සාර්ථකත්වය අපිම තමයි හොයාගන්න ඕනේ. එතකොට අපිට දීර්ඝ ගමනක් යන්න පුළුවන්. එහෙම තමයි මගේ පෞරුෂත්වය ගොඩ නැගුණේ.

ශුක්රගේ පවුලේ හතර දෙනයි දරුවෝ. අක්කලා දෙන්නයි ශුක්රයි. මල්ලියෙකුත් ඉන්නවා. අම්මත් එක්ක මම කතා කරාම අම්මා කිව්වා මහත්තයෝ මම ඇත්ත කියන්නම් මම වැඩිය ඉගෙනගෙන නෑ. තාත්තා ටිකක් ඉගෙන ගත්තා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ. ශුක්රා අම්මා ගැන තාත්තා ගැන පවුල ගැන මේ තරම් ගැඹුරු හැඟීමක් ඇති වෙන්නේ අර්බුධ මැද්දේ ප්‍රශ්න මැද්දේ දුප්පත්කම මැද්දේ හැදිච්ච හින්දද එහෙම නැත්තම් ඊට වඩා දෙයක් ඔබ කියවලා තිබුණ නිසාද? ඔබව මේ තත්වෙට ගෙනාවේ එබේ ආගම දහම ද? ඔබ කියවූ පත පොත ද? ඔබ ලබපු අත්දැකීම් ද? නැත්තම් මේ සෑම දෙයක්මද?

මේ හැමදෙයක්ම එකතුවෙලා තමයි පවුල ගැන මේ ගැඹුරු ආදරය ඇතිවෙලා තියෙන්නේ. මම මගේ පවුලට ගොඩක්ම ආදරෙයි. පොඩි කාලේ ඉඳලම මම දුප්පත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. අම්මත් වැඩට යනවා. තාත්තත් වැඩට යනවා. එතකොට මට අම්මගෙයි තාත්තගෙයි දුක තේරුණා. මම ඇස් දෙකින්ම දැක්කා. මේගොල්ලෝ මහන්සි වෙන විදිහ. පස්සේ මට ඒ හැමදේම තේරෙන්න පටන් ගත්තා. මේ වසංගතය නිසා ඔන්ලයින් ඉගෙන ගන්න මම ලැප්ටොප් එකක් ගෙවන්න ගත්තත් ඒකට මාසෙන් මාසෙට හරියට සල්ලි ගෙවන්නත් අපිට පහසුකමක් තිබුණේ නැහැ. ඒ නිසා මම තීරණයක් ගත්තා ඒක කරන්න ඕනි කියලා. ඒකට මගේ පවුලේ කට්ටිය මාව ගොඩක් ධෛර්යමත් කළා.  ඔයාට මිලියන දෙකම ගන්න පුළුවන් ඔයාට සමාජයට හොඳ අදහසක් දෙන්න පුළුවන් ඔයා හිතන යහපත් සිතුවිලි ඔක්කොම ඔයාට සමාජගත කරන්න පුළුවන්  ඔයා වගේ චරිත තව ගොඩක් බිහිකරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ මාව දිරිමත් කළා. මම පොඩි කාලේ ඉඳලම පවුලට ගොඩක් ආදරෙයි.

ඉස්ලාම් ආගම ලෝකයේ තිබෙන ඉතාම උත්තරීතර ආගම් අතර ඉහළින්ම තිබෙන ආගමක්. අද ශ්‍රී ලංකාවේ මේ ආගම් හා ජාතීන් වෙන්කරගෙන ජාතිවාදය ඇතිකර ගැනීම සඳහා මේ එක එක අය එක එක විදිහට කටයුතු කරනවා සුළු පිරිසක්. මම හිතන්නේ ඔබ සාමයේ සමගියේ සංකේතයක් බවට පත්වෙන්න පුළුවන් තැනැත්තියක් . මේ වන විට මා දකිනවා සමාජ මාධ්‍යයේ එක එක මත එක එක විදියට පල වෙනවා. අපි ඇයි ශ්‍රී ලාංකිකයන් විදියට හිටගන්න ඕනේ. ඇයි ජාතික සමගිය වැදගත්?

ජාතිවාදය ආගම්වාදය බෙදුම්වාදය හැමදෙයක්ම කරලා අපි ටික දවසකින් මැරිලා යනවා. මැරුණට පස්සේ මේ අදහස සමාජයේ තිබුණොත් ඒක කවදාවත් නැති වෙලා යන්නේ නෑ. ඒක අනාගත පරම්පරාට ගිහිල්ලා අපේ අනාගතය විනාශ වෙන එකයි වෙන්නේ. අපි ආගමිකත වශයෙන් කටයුතු කරන්න ඕනේ. ආගම ගොඩක් වැදගත්. ඒත් අපි ශ්‍රී ලාංකිකයන් විදිහට කටයුතු කරන්න ඕනේ. එතකොට ඒ ප්‍රශ්න නැති වෙනවා. එතකොට අපිට පුවවන් ශ්‍රී ලාංකික සමාජයක් වශයෙන් ඉදිරියටම ගමන් කරන්න. ලෝකයේ බිහි වූ සමගියෙන් ජීවත් වන ශ්‍රේෂ්ටතම ජාතියක් වශයෙන් අපිට නම් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව කියන්නේ පරිපූර්ණ රටක්. අපි ශ්‍රී  ලාංකිකයන් විදියට කටයුතු කළොත් අපිට පුළුවන් වෙයි දීර්ඝ ගමනක් යන්න.

මට පොඩි කාලේ ඉඳලා හැඟීමක් තිබ්බා අපේ රට ජාතිය වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ කියලා. ඇත්තටම ධර්මයක් නැතුව මිනිහෙක්ට මනුෂ්‍යෙයක් වෙන්න බෑ. ඒත් අපි ඒක බෙදුම්වාදයක් කරගන්න ඕනේ නෑ. අපි කෑලි කෑලි වලට වෙන් වුණොත් අපිට ශ්‍රී ලංකාව කියලා රටක් නැතුව යයි.

අපි මේ රට හදාගන්නවනම්, අපි මුලින්ම කරන්න ඕනේ මොනා ද කියලා හෙව්වොත් ඔබ වගේ බුද්ධිමත් දැරියක් මොකද හිතන්නේ? ඇයි අපිට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ?

අපිට හිතුවොත් දියුණු වෙන්න පුළුවන්. අපි අතර අසමඟියක් ඇතිවෙන එක තමයි අපේ රටේ දියුණුවට ලොකුම බාධාව වෙන්නේ. අපි හැමෝම එකම ජාතියක් හැටියට කටයුතු කළොත් අපි යන ගමන කාටවත් හිතා ගන්න බැරි වෙයි. ලංකාව සංස්කෘතිය අතින් පරිපූර්ණ රටක්. අපි අතරේ ප්‍රශ්නයක් වෙන්න හොඳ නැහැ. එහෙම හිතුවොත් අපිට දියුණු වෙන්න පුළුවන්.

ඔබ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්න කැමති ද ඔබේ වයසට? මොකද හිතන්නේ කාන්තාවෝ ගැන?

කාන්තාවන් සමග ඒ අයිතීන් වෙනුවෙන් පිරිමි පාර්ශවයත් එක්ව කටයුතු කරන්න ඕනේ. එතකොට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ.

ශුක්රගේ ඊළඟ ඉලක්කය මොකක්ද?

මගේ අධ්‍යාපන වැඩකටයුතු හොඳින් කරගෙන මම කැමතියි ප්‍රධාන විධායක නිළධාරිනියක් වෙන්න. ඒකට අවශ්‍ය වැඩ කටයුතු හැම දෙයක්ම හදාගෙන අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට ගිහින් කාන්තා නියෝජනයකුත් කරගෙන මගේ ශ්‍රී ලංකාව කියන රටත් රැකගෙන මගේ රටේ සමගිය සාමය ඇති කරගෙන අපේ අනාගත පරපුරට හොඳ රටක් නිර්මාණය කරගෙන රට ජාතිය රැකගන්න මම කැමතියි.

සල්ලි හම්බකරන්න එහෙම අවශ්‍ය නැද්ද?

සල්ලි කොයිවෙලාවේ කොහොම වුණත් හම්බ කරගන්න පුළුවන්. මට ඕනේ සමාජය යහපත් තැනකට ගෙනල්ලා සමාජය වෙනස් කරන්න. අපි වෙනස් වෙන්න ඕනේ අපි හිතන විදිහ වෙන්ස් වෙන්න ඕනේ. අපි බලන සහ අහන විදිහ වෙනස් වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් විජයග්‍රාහී ගමනකට යන්න.

ඔබේ ජනප්‍රියත්වයට සහ ප්‍රතිචාරයන්ට ඔබ මුහුණ දෙන්නේ කොහොම ද?

ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. කතා කරන හැම කෙනාම කියන්නේ පුතේ ඔයා මේ රට වෙනස් කරන්න. ඔයාට පුළුවන් මේ රට වෙනස් කරන්න කියලා. සමහර කට්ටිය මාව විවේචනයට ලක් කරනවා. ඒක මම බාධාවක් කරගන්නේ නැහැ.

ඔබට ආදරය කරන හැමෝටම දෙන්න තියෙන පණිවිඩය මොකද්ද?

අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් වශයෙන් කටයුතු කරමු. අනාගත පරපුරට හොඳ රටක් දායාද කරන්න. හොඳ අදහස් සමාජගත කරන්න. හැමෝවම තේරුම් අරන් අවබෝධ කර ගන්න. එතකොට කවදාවත් අපි අතර ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෑ.  අපි ලෝකයම දන්න ශ්‍රේෂ්ඨ ජාතියක් වෙමු.