මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක ඔන්ලයින් සේවාව හරහා අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බවට විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට අනාවරණය වී තිබේ.  ඒ අනුව එම පද්ධතිය නැවත සකස් කර ජනතාවට වඩා කාර්යක්‍ෂම සේවාවක් සැපයිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී ඇත.  
කෙසේ වුවද රාජකාරි කටයුතු ප්‍රමාදවීම් ඇතුළු දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති අඩුපාඩු නිවැරදි කිරීමට නිලධාරින් කඩිනමින් කටයුතු කළ යුතු බවට රාජ්‍ය අමාත්‍යවරයා විසින් නිලධාරීන් 14දා දැනුම්වත් කර තිබේ.  ඒ අනුව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ හමුවක් කැඳවමින් හෙතෙම සඳහන් කර ඇත්තේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ජනතාවට කාර්යක්‍ෂම  සේවයක් ඉටු නොවේ නම්, අදාළ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට නොවන බවයි.

එසේම දෙපාර්තමේන්තුව තුළ සිදු විය යුතු නීත්‍යනුකූල වෙනස්කම් සම්බන්ධයෙන් තමන් වගකීම භාර ගන්නා බවට එහිදී සඳහන් කර ඇති රාජ්‍ය අමාත්‍යවරයා, අක්‍රමිකතාවන්ට සම්බන්ධ තවත් නිලධාරින් කිහිපදෙනෙකුට එරෙහිව ඉදිරියේදී පියවර ගැනීමට නියමිත බවද අවධාරණය කර ඇත.  කෙසේ වුවද රාජකාරි කටයුතු සිදුකර ගෙන යාමේදී නිලධාරීන්ගේ පාර්ශ්වයෙන් යම් ගැටලු තත්වයන් වේ නම්, ඒ පිළිබඳ තමන් දැනුම්වත් කරන ලෙසත්, ඒ අනුව ඊට අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදෙන බවද දිලුම් අමුණුගම මහතා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

-නිදර්ශනි වික්‍රමසිංහ-