විනිසුරුවරුන් සහ නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට ප්‍රකාශයක් කිරීමෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කර ඇතිබව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඊට වරදකරු කරමින් ඔහුට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ඊයේ (12) නියම කළේය.
 
රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරිමට වරදකරු බවට සිසිර ද ආබෘෘ, විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන මහත්වරුන්ගෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කරමින් මෙම දඬුවම නියම කළේය.


මහාමාර්ග හා මාර්ග සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය සහ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා 2017 වසරේ අගෝස්තු මාසයේ 21 වැනි දින අරලියගහ මන්දිරය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශයක් කිරීම මගින් අධිකරණයට අපහාස කර ඇති බවට ඉදිරිපත් කළ පැමිණිලි විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය දුන්නේය.

බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරය වෙත යැවීම සඳහා වන වරෙන්තුව සකස් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයාට මෙහිදී නියම කෙරිණ.

මෙම තීන්දුව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කළේ අදාළ ප්‍රකාශ කිරීම මගින් රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කර ඇති බවට නීතිපතිවරයා විසින් එල්ල කරන ලද චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවය.

අධිකරණයට අපහාස කිරිමේ චේතනාවකින් මෙම ප්‍රකාශ නොකළ බවට ඔප්පු කිරීමට විත්තිකාර රන්ජන් රාමනායක මහතා නඩු විභාගයේදී උත්සාහ කළ ද පසුව අධිකරණ පරිශ්‍රයේදී අවස්ථා කිහිපයකදී නැවත නැවතත් කළ ප්‍රකාශ කිහිපයක් මගින් ඔහු තුළ තිබූ චේතනාව සාක්ෂි මගින් තහවුරු වී ඇතැයි සම්පූර්ණ නඩු තීන්දුව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කරමින් විනිසුරු සිසිර ද ආබෘෘ මහතා කියා සිටියේය.

රන්ජන් රාමනායක මහතාට එරෙහි අධිකරණ අපහාස නඩුව සම්බන්ධයෙන් අපැහැදිලි තැන් ඇති නම් දෙපාර්ශ්වයේ කරුණු පැහැදිලි කරගැනීම සඳහා සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන මහත්වරුන්ගෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (12) පෙරවරු 9.45ට පමණ කැඳ වූ අතර එහිදී විත්තිකාර රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවට නොපැමිණියේය.

විත්තිකාර රජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා කොරෝනා ආසාදිතයකුට නිරාවරණය වීම නිසා නිරෝධායනයට ලක්ව සිටින බව නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණයට දැනුම් දුන්නේය. එසේ වුව ද නඩුවේ කටයුතු ඉදිරියටම පවත්වාගෙන යාමට තීරණය කළ විනිසුරු මඩුල්ල විත්තිකරු අධිකරණ ශාලාවේ නොසිටීම ගැන නීතිඥවරුන්ගෙන් ප්‍රශ්න කළේය. පසුව පහත මාලයේ රැඳී සිටි විත්තිකාර රන්ජන් රාමනායක මහතා අධිකරණ නියමය මත අධිකරණ ශාලාවට පැමිණියේය.

විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණ ශාලාවට පැමිණීමෙන් පසුව නඩුව සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කරුණු පැහැදිලි කළේය.

එම කෙටි කරුණු දැක්වීම් වලින් පසුව තවදුරටත් කරුණු පැහැදිලි කිරිම් නොපැවැතීම හේතුවෙන් මෙම අධිකරණ අපහාස නඩුවේ තීන්දු ප්‍රකාශ කළ හැකි බව විනිසුරු සිසිර ද ආබෘෘ මහතා සඳහන් කළේය. ඒ අනුව එම නඩු තීන්දුව සඳහා පෙරවරු 10.25 දක්වා නඩුව කල් තැබීය. ඒ අනුව එම වේලාවටම විනිශ්චයනාරූඪ වූ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෘෘ මහතා නඩු තීන්දුව දෙමින් මෙසේ ද පැවැසීය.

“මෙම නඩුව පවරන අවස්ථාව වනවිට විත්තිකාර රන්ජන් රාමනායක මහතා කැබිනට් නොවන අමාත්‍යවරයකු ලෙස කටයුතු කළේය. 2006 වසරේදී පාර්ලිමේන්තුවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරි පත් වූ ඔහු දිගින් දිගටම පාර්ලිමේන්තුවට පත් වූ බව ද සඳහන් වේ. චිත්‍රපට නළුවකු වන විත්තිකරු දූෂිතයන් දේශපාලනඥයන්ට එරෙහිව විත්‍රපට කිහිපයක් ද සකස් කළ බව සාක්කි විභාගයේදී සඳහන් විණි. 2017 වසරේ අගෝස්තු 21 වැනිදා අරලියගහ මන්දිරයෙහි පැවැති රැස්වීමකින් පසුව එළියට පැමිණි විත්තිකාර රන්ජන් රාමනායක මහතා මාධ්‍යවේදීන් අමතා “විනිසුරුවරුන් සහ නීතිඥවරුන් බහුතරයක් දූෂිත බව" ප්‍රකාශ කිරිමේදී අධිකරණයට අපහාසයක් කිරිමේ චේතනාවක් නොතිබූ බවට ඔප්පු කිරීමට විත්තකරුගේ නීතිඥවරයා උත්සාහ කළ ද එම උස්සාහය අසාර්ථකය.

2017 වසරේ අගෝස්තු 21 වැනිදා කළ එම ප්‍රකාශයෙන් පසුව මෙම අධිකරණ අපහාස නඩු විභාගය සඳහා අධිකරණයට පැමිණි අවස්ථා කිහිපයකදීම අධිකරණ ශාලාවෙන් පිටත, අධිකරණ පරිශ්‍රයේදී විත්තිකාර රන්ජන් රාමනායක මහතා මාධ්‍යවේදීන් හමුවේ නැවත ප්‍රකාශ කිහිපයක් කරමින් පෙර කරන ලද ප්‍රකාශය තහවුරු කර ඇත.


ඔහු කළ ප්‍රකාශය ඒ ආකාරයෙන්ම පටිගත කොට විකාශය කළ බවට සාක්කිකරුවන් සාක්ෂි ලබාදෙන ලදී. හිටපු අගවිනිසුරුවන් නෙවිල් සමරකෝන්, මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය වැනි හොඳ විනිසුරුවරුන් පිළිබඳ විත්තිකරු කළ ප්‍රකාශ හිරු නාලිකාව විසින් කපා දමා කොටසක් පමණක් විකාශය කර ඇති බවට විත්තිකාර පාර්ශවය විසින් නඩු විභාගයේදී චෝදනා කර තිබුණි.

2017 වසරේ අගෝස්තු 21 වැනි දින කරන ලද ප්‍රකාශය චේතනාන්විතව සිදු නොකළ බවට විත්තිකාර පාර්ශවය සිය ප්‍රධාන නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කළේය. එහෙත් එම කරුණු සාක්කි මඟින්ම ප්‍රතික්ෂේප වී ඇත. අගොස්තු 21 දිනට පසුව 2017 දෙසැම්බර් 14 දින අධිකරණ පරිශ්‍රයේදී රන්ජන් රාමනායක මහතා සඳහන් කර ඇත්තේ අදාළ ප්‍රකාශය ඉවත් කර නොගන්නා බවය. එසේම 2018 මාර්තු 23 වැනි දින විත්තිකරු ප්‍රකාශ කර ඇත්තේ, තමන් ප්‍රකාශ කළේ මෙම විනිසුරුවරුන් ගැන බවය. එසේම ජුනි මස 4, ජුනි මස 18, සැප්තැම්බර් 5 දින එවැනිම ප්‍රකාශ කිහිපයක් කර ඇත.

අධිකරණයට සහ විනිසුරුවරුන්ට අපහාස කිරීමට විත්තිකරු තුළ තිබු චේතනාව එම ප්‍රකාශය මඟින්ම තහවුරු කර ඇත. ඒ අනුව විත්තිකරුගේ නිර්දෝෂීභාවය තහවුරු කිරීමට ඔහුගේ නීතිඥවරුන් ගත් උත්සාහය අසාර්ථක බව ද එම නීතිඥවරයා අසමත් බව ද නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු සිසිර ද ආබෘෘ මහතා සඳහන් කළේය.

ඒ අනුව නීතිපතිවරයා ගොනුකළ අධිකරණ අපහාස චෝදනා පත්‍රයෙහි ඇති චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වේ. ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ වරදට විත්තිකාර හිටපු රාජ්‍ය අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වරදකරු බවට ඒකමතිකව තීන්දු කළ විනිසුරු මඩුල්ල ඒ වෙනුවෙන් වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘෘ මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේය.

වරදකරු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරය වෙත යොමු කිරීමට අදාළ වරෙන්තු සකස් කර බන්ධනාගාර බලධාරින්ට දැනුම් දෙන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම අධිකරණ ලේඛකාධිකාරිවරයාට නියම කළේය.

නඩු තීන්දුව ප්‍රකාශ කිරිමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයාගේ නිල මැදිරියේ රඳවා සිටි රන්ජන් රාමනායක මහතා පස්වරු 1.30ට පමණ බන්ධනාගාර නිලධාරින්ගේ රැකවල් මධ්‍යයේ පල්ලසේන රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙන යන ලදී. මෙම 2017 අගෝස්තු 21 දින අරලියගහ මන්දිරය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් අමතා විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇති බවට පැමිණිලි කරමින් එම වසරේදීම විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කළේය.

අදාළ ප්‍රකාශය සිදු කිරිමෙන් අධිකරණය කෙරෙහි ජනතාවගේ ඇති ගෞරවය කෙලෙසීමට ඔහු කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා දඬුවම් නියම කරන ලෙස එමගින් ඉල්ලා තිබිණි. එම පැමිණිල්ල අගවිනිසුරුවරයා විසින් සියලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අවධානයට යොමු කර තිබූ අතර කරුණු සලකා බැලූ විනිසුරුවරුන් සියලුදෙනා තීරණය කළේ අදාළ ප්‍රකාශය කිරීමෙන් වගඋත්තරකාර රන්ජන් රාමනායක බැලූ බැල්මට අධිකරණයට අපහාස කර ඇති බවය. ඒ අනුව අධිකරණය විසින් කළ නියෝගයක් අනුව නීතිපතිවරයා විසින් විත්තිකාර රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණ අපහාස චෝදනා පත්‍රයක් සකස් කළේය.

එම චෝදනා පත්‍රයේ සඳහන් චෝදනාවන්, විත්තිකාර රන්ජන් රාමනායක මහතා විවෘත අධිකරණයේ දී කියවා දුන් අතර එම චෝදනාවන්ට තමන් නිවැරැදිකරු බවට ඔහු පැවැසීය. ඒ අනුව එම චෝදනා පත්‍ර සම්බන්ධ නඩුව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

රන්ජන් රාමනායක මහතාට එරෙහි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රයේ මෙසේ සඳහන් විණ.

විත්තිකරු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටිමින් සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරමින් 2017 අගෝස්තු 21 වැනි දින අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකදී මාධ්‍ය වෙත දුන් ප්‍රකාශයක් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට නුගේගොඩ, ගංගොඩවිල වලව්වත්ත පාරේ, අංක 43 /11 දරන ස්ථානයේ පදිංචි රණවක සුනිල් පෙරේරා නමැත්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර ඇත. මෙම පැමිණිල්ල 2017 නොවැම්බර් 21 සහ දෙසැම්බර් 14 යන දිනයන්හි අධිකරණය හමුවේ කැඳවා ඊට අදාළව එම්. ටී.වී. චැනල් පෞද්ගලික සමාගම කැඳවා විත්තිකරු හමුවේ අදාළ වීඩියෝපට හා අදාළ ප්‍රකාශ පෙන්වා ඇත.  

ඒ අනුව අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ මතය වී ඇත්තේ පැමිණිලිකාර පාර්ශවයේ ප්‍රකාශ අදාළ විඩියෝ පටයේ සඳහන් වන බවය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 යන වගත්තිය යටතේ විත්තිකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාගයට ගැනීමට විනිසුරු මඬුල්ල තීරණය කර ඇත.

මෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වන විත්තිකරුට දඬුවම් නාකිරීමට හේතු දක්වන ලෙසට නියෝගයක් කරමින් මෙම ආඥාවක් නිකුත් කරමි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරිමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා රන්ජන් රාමනායක මහතා වෙත යොමු කිරිම සඳහා වන චෝදනා ආඥා කෙටුම්පතක් අධිකරණයට හමුවට ඉදිරිපත් කරන ලෙසට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියමය අනුව නීතිපතිවරයා මෙම කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙන ලදී. ඒ අනුව විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයා විසින් කියවා බාර දෙන ලදි.

පෙත්සම්කාර සුනිල් පෙරේරා මහතා සිය පෙත්සම්වලින් පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මස අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චයකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයන් ලෙස හඳුන්වා දී ඇති බව කියා සිටී බවයි.

මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය බිඳ වැටෙන බවත් ඒ හරහා රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.

මේ හේතුවෙන් රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි. සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කි සහ විත්තිකරුවන්ගේ සාක්‍ෂි මෙහෙයවීම සහ වාචික දේශන මෙහෙයවීම පුරා දෙවසරකට ආසන්න කාලයක් පැවැත්වීමෙන් අනතුරුව මෙම තීන්දුව දෙන ලදී.

රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන් මහතා ද නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ද පෙනී සිටියහ.

මේ අතර ඉකුත් 2018 වසරේ නොවැම්බර් මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත්කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් ද රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් ඒ මහතාට එරෙහිව ගොනු කළ දෙවැනි පැමිණිල්ල තවමත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.


- තිළිණි ද සිල්වා -