රජයක උදවුවක් නොමැතිව ස්වෝත්සාහයෙන් ගොඩනගාගත් මහරගම පමුණුවේ රෙදි වෙළෙඳාමට බලපෑම් කර ඔවුන්ගේ දෛනික ජීවිතය කඩා කප්පල් කිරීමට පොලිසිය භාර ඇමැතිවරයා කටයුතු කර ඇතිනම් එය අනුවණ කමක්යැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.  ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ කැස්බෑව නගර සභා ශ්‍රවණාගාරයේදී පෙරේදා (16) පැවැති කැස්බෑව කාන්තා බලමණ්ඩලය අමතමිනි.  ගාමිණී ලොකුගේ ඇමැතිවරයා මෙසේද කීය. ඇතැම් කාන්තාවන් වැඩි වශයෙන්ම ජීවනෝපාය සලසා ගන්නේ ඇඟලුම් කර්මාන්තයෙන්. තම නිවසේ ඇඳුමක් මසාගෙන එය විකුණාගෙන කීයක් හරි හොයාගන්නේ දැඩි කැපවීමකින්.

එහෙත් ඇඟලුම් කර්මාන්තයෙන් දිවි සරිකර ගන්නා මහරගම පමුණුවේ ව්‍යාපාරිකයන්ට පසුගියදා අපේ දේශපාලකයකුගේ 
මැදිහත්වීමෙන් පොලිසිය බලපෑම් කර ඇති බවට අපිට තොරතුරු ලැබී තිබුණා. මේ කාලේ එහෙම කළ යුතු කාලයක් නොවෙයි.  මොකද කොරෝනා වසංගතයෙන් මුළු  සමාජයම කඩා වැටී තිබෙන මොහොතක  එවන් වෙලාවකදි ජීවිතය ගැට ගසාගන්න,  සාධාරණව කීයක් හරි හොයගන්න මිනිහෙකුගෙ උත්සාහයට අකුල් හෙලන එක අනුවණ වැඩක්. මහරගම කියන්නේ ඇගලුම් කර්මාන්තයෙන්  ලෝකෙම දිනපු කුඩා කර්මාන්ත නගරයක්. එතැන ඉන්න වැඩි පිරිසක් පාන්දර දෙකට  ඇවිත් උදෑසන 6.00 ට විතර ගෙදර යනවා.

ඔවුන්ගෙන් රජයටවත් මහපොළොවටවත් කාටවත් බරක් නෑ. ඔවුන් කරන්නේ ඔවුන් විසින්ම හදාගත්තු ව්‍යාපාරයක්. ඒක රජයක් විසින් ලබා දුනු අවස්ථාවක් නොවෙයි. ඉතින් ඒවගේ ව්‍යාපාරයක් නවත්තන්න කටයුතු කරනවා නම් ඒක මහ නරක වැඩක්. ඒ වැඩේ කවුරු කළත් වැරදියි. මේ වෙළෙඳුන්ට බලපෑම් කරන පොලිසියට ඔලුව හොඳ නැද්ද මන්දා.  ඇත්තටම අද මහරගම කියන නම කියූ සැණින් මතක් වෙන්නේ මේ රෙදි වෙළඳාම. ලංකාවේ සතර දිගින්ම රෙදි ගන්න එතැනට එනවා. මෙරට පමණක් නොවෙයි අපි දැකලා තියෙනවා පිට රටවල අය පවා එතැනටම එනවා. ඒක මොන තරම් අපේ රටට ශක්තියක් ද. මේක තේරෙන්නෙ නැති අනුවණ පිරිසක්නෙ මේවට බාධා කරන්නේ.

වැටී ඇති තැනින් ගොඩ එන්න උදව් කළ යුතු කාලයක වැටී ඇති තැනින් තව තවත් ප්‍රපාතයට තල්ලු කරන මිනිස්සුන්ට මම කියනවා බුද්ධිමත්ව කල්පනා කරලා මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් සාධාරණව ක්‍රියා කරන්න කියලා.  මේ පිළිබඳව ඉතා ඉක්මනින් අවධානය යොමු කරලා මතුව තිබෙන ගැටලුව නිවැරැදි කරන කියලා ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් ඉල්ලා සිටියා. මේකට අපේ රජයේ පොලිසිය භාර ඇමැති මැදිහත් වෙලා තියෙනවා කියලා අපිට ආරංචියි. එහෙම කරල තියෙනවා නං සම්පුර්ණයෙන්ම වැරදියි යනුවෙන්ද කීය.

-ප්‍රදීප් කුමාර කුලරත්න-