කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව විනාඩි 20කින් පමණ කාලයක දී මියගිය පුද්ගලයකුගේ සිරුර පී.සී.ආර්. පරික්ෂණයේ ප්‍රතිඵල වාර්තා ලැබීමට පෙර මරණ පරික්ෂණයක් ද නොපවත්වා ඥාතීන්ට භාර දී ඇති බව කරාපිටිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය තැනැත්තාගේ පී.සී.ආර්. පරික්ෂණ ප්‍රතිඵල ඊයේ (25) ලැබෙනවිට ඥාතීන් විසින් දේහය මිහිදන් කර තිබූ බව ද පැවැසේ.

මෙලෙස මියගොස් තිබුණේ ගාල්ල, මකුළුව, අලුත් පාර පදිංචි අබ්දුල් ජමාල් අස්මිල් නමැති 56 හැවිරිදි පුද්ගලයෙකි.


කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝගීන් ඇතුළත් කිරීමේ දත්තවලට අනුව මෙම පුද්ගලයා පෙරේදා (24) සවස 6.45ට පමණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.

ඒ අවස්ථාවේදීම ඔහුට කෘත්‍රිම හෘද ස්පන්ධනය පවා ලබාදුන් බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. ඇතුළත් කර විනාඩි 20ක් පමණ කාලයක් ඇතුළත මෙම පුද්ගලයා මියගොස් ඇත.

හදිසි ප්‍රතිකාර ඒකකයේදීම ඔහුගේ ජෛව සාම්පල ලබාගෙන එය පී.සී.ආර්. පරික්ෂණයකට යවා දේහය ඥාතීන්ට භාර දී තිබේ. වාට්ටුවේ සේවය කළ විශේෂඥ වෛද්‍ය චාමර ජයන්තිස්ස මහතා මේ පුද්ගලයාගේ මරණය සිදුවී ඇත්තේ නියුමෝනියාව හා ලේ විෂවීම යන කරුණුවලින් බවත් ඔහුට ඇදුම රෝගය තිබූ බවත් සඳහන් කරමින් මරණයට හේතුව සඳහන් ලේඛනයක් ද ඥාතීන් වෙත නිකුත් කර තිබිණි.

සෞඛ්‍ය නිර්දේශය වන්නේ එවැනි මරණයක් අනිවාර්යයෙන්ම මරණ පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතු බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ රාජකාරි භාරව සිටි රුහුණු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතාගෙන් අප මේ පිළිබඳ විමසූ විට ඔහු මෙසේ කීවේය.


“එවැනි මරණයක් සම්බන්ධයෙන් මරණ පරික්ෂණෙයක් සිදුකිරීමට අධිකරණ අංශයට ඉල්ලීමක් යොමු වී තිබුණේ නැහැ. නමුත් රෝහලට ගෙනැවිත් විනාඩි කිහිපයකින් මියයන පුද්ගලයකුගේ දේහයක් සාමාන්‍යයෙන් හදිසි මරණ පරික්ෂණයකට යොමු කළ යුතුයි. ඒ වගේම පී.සී.ආර්. පරික්ෂණයක් සඳහා ජෛව සාම්පල ලබාගන්න මළසිරුරක් කිසිසේත්ම මරණ පරික්ෂණයකින් තොරව ඥාතීන්ට භාර දෙන්න බැහැ. පී.සී.ආර්. වාර්තා පැමිණෙන තුරු දේහය මෘත ශරීරාගාරයේ තබා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මරණ පරික්ෂණ හා පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදුවිය යුතුයි. නමුත් මේ දේහය මරණ පරික්ෂණයක් සඳහා යොමු කර තිබුණේ නැහැ.

මේ ගැන දැනගෙන සොයා බැලූ විට පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වාර්තාව ඊයේ (25 ) උදේ 9.00ට පමණ රසායනාගාරයෙන් නිකුත් කර තිබුණා. ඒ වාර්තාව අනුව මේ පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නැහැ. නමුත් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ මරණයක් අනිවාර්යයෙන්ම අධිකරණ වෛද්‍ය අංශයේ දී මරණ පරික්ෂණයකට යොමු විය යුතුයි.”

මේ පිළිබඳව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහයේ දී කාර්යාලයේ ප්‍රකාශකයකු පවසා සිටියේ අධ්‍යක්ෂවරයා කාර්යාලයේ නොමැති බවයි. නියෝජ්‍ය අධ්‍යක්ෂවරියට ඇමතූ විට දුරකතන ඇමතුමට සම්බන්ධ වූ නිලධාරියා විමසා සිටියේ ප්‍රශ්නය කුමක් ද යන්නයි. සිද්ධිය විස්තර කර ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය බව කියා සිටි විට අධ්‍යක්ෂවරියගේ පිළිතුර වූයේ තමන්ට කිසිවක් කිව නොහැකි බවත් ඒ පිළිබඳව අධ්‍යක්ෂවරයාගෙන් විමසන ලෙසත්ය.


 - සිරංගිකා ලොකුකරවිට -