අනුරාධපුර යුගයට අයත් මහහුරුලෑව පුරාවිද්‍යා භූමිය ඩෝසර් කොට විනාශ කර දැමූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට   ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි රාජ්‍ය අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා 17 වැනිදා පස්වරුවේ ගල්කිරියාගම පොලිසියට නියෝග කළේය.   මෙම පුරාවිද්‍යා භූමිය යම්කිසි කණ්ඩායමක් විසින් ඩෝසර් කර එහි තිබූ ඉපැරැණි ගල් කණු, චෛත්‍යය, මාලිගා නටබුන් ආදී බොහෝ දේ විනාශ කර තිබෙන බව ජනමාධ්‍ය මගින් හෙළිදරව් කෙරිණි. ගල්කිරියාගම වනජීවී නිලධාරින් විසින් මේ බව පොලිසියට සහ පුරාවිද්‍යා නිලධාරින්ට ද ද
ැනුම් දෙනතුරු මෙම විනාශය සිදුවෙමින් පැවැති අතර, එම භූමි ඩෝසර් කොට දුම්කොළ වගාව සඳහා ව්‍යාපාරිකයන්ට බදු දීම සිදුවන බව දන්වා තිබිණි.

මෙම විනාශය සිදු කර සති දෙකකට පමණ අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් මෙම විනාශය සිදු කළ ගල්කිරියාගම ප්‍රදේශයේ සහ ගලේවෙල ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයන් දෙදෙනා අත්අඩංගුවට නොගෙන මෙම විනාශ සිදු කිරිම සඳහා පැමිණි ඩෝසර් රියැදුරු පමණක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය, පුරාවිද්‍යා නිලධාරින් අමාත්‍යවරයා දැනුවත් කර තිබිණි.  පසුව රාජ්‍ය අමාත්‍යවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අනුර මනතුංග මහතා ඇතුළු කණ්ඩායමක් සමග මෙම විනාශය සිදු කරන ලද භූමිය නිරික්ෂණය සඳහා පැමිණ සිටි අතර, මෙහිදී අමාත්‍යවරයාට ද දැක ගැනීමට හැකි වූයේ පුරාවිද්‍යා ස්ථාන යන්ත්‍ර සූත්‍ර දමා ඩෝසර් කොට එම ප්‍රදේශයේ දුම්කොළ වගාවක් සිදු කරන ආකාරයයි.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ මුළු රටේම ඉතා සූක්ෂම ලෙස මහා පරිමාණයෙන් පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරිම සැලැසුම් සහගතව සිදුවන ක්‍රියාවලියක් බව ද ඉතා කඩිනමින් මෙම ක්‍රියාවලිය නවතා දැමීම සඳහා සිය පූර්ණ කැප කිරිම සිදු කරමින් සිටින බව ද ඒ සඳහා ජනතාවගේ සහයෝගය ද අවැසි බවය.  ගල්කිරියාගම පොලිස් බලප්‍රදේශයේ මහහුරුලෑව පුරාවිද්‍යා ස්ථානයේ සිදු කර ඇති මහා විනාශය පිළිබඳව අමාත්‍යවරයා දැඩි කනස්සල්ල ද පළ කරන්නට විය.  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අනුර මනතුංග මහතා කියා සිටියේ මෙම ස්ථානය අනුරාධපුර යුගයට අයත් ඉතා 
වටිනා ස්ථානයක් බවය. කිසිදු සොයා බැලීමකින් තොරව මෙම  ස්ථානය විනාශ කර දැමීම නිසා සම්පුර්ණයෙන්ම පුරාවිද්‍යා නටබුන් විනාශයට පත්ව ඇති  බවය.

 රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම ස්ථානයට පැමිණ සිටි එම ප්‍රදේශයේ පදිංචි කුඩා පාසල් දරුවකුට කතා කොට තමා  මෙම ස්ථානයට පැමිණියේ ඇයි දැයි දන්නවාදැයි දරුවාගෙන් විමසන්නට විය. මඳ වේලාවක් කුඩා දරුවා නිරුත්තර විය. නැවත අමාත්‍යවරයා දරුවාගෙන් විමසා සිටියේ පාසල් යනවා ද යන්නය.  ඔහු එය අනුමත කරමින් හිස වනා පාසල් යන බව පැවැසීය. කෙසේ වෙතත් බියකින් තොරව කතා කරන්න අමාත්‍යවරයා කුඩා දරුවාට කරුණාවෙන් කියන්නට විය.  පුතා දන්නවා ද අපි මේ ඔයාලගේ ගමට ආවේ ඇයි කියලා?

 පිළිතුර: මම දන්නවා.

හොඳයි එහෙනම් කියන්න බලන්න මම ඇයි ආවේ කියලා?

පිළිතුර: නිදන් ගන්න.

මෙම කුඩා දරුවා අමාත්‍යවරයාට පැවැසීය.

මෙහි සිටි සියලුම දෙනා කොක් හඬලා සිනාසෙන්නට වූහ. පසුව අමාත්‍යවරයා මෙම දරුවා දරන මතය කඩිනමින් නිවැරැදි  කරන්නට විය. “පුතේ නිදන් කියන්නේ අපේ අතීතය අපට මතක් කරලා දෙන දෙයක්. අපේ උරුමයත් එය තමයි. අපේ ඉතිහාසය  පුතාලට ඒවා උගන්නලා නැද්ද. අපි ඉදිරියේදී කියලා දෙන්නම් නිදන් කියන්නේ පුතේ අපේ රටේ අපට තියෙන සාක්කි. ඒ නිසා  වැරැදි වැටහීම් වල ඉන්න එපා" යැයි අමාත්‍යවරයා කුඩා දරුවා දැනුවත් කළේය.


-කාංචන කුමාර ආරියදාස-