ජංගම දුරකථන සන්නිවේදන කුලුණු යොදා ගැනීමකින් තොරව ගුවනේ පාවෙන බැලූන ආධාරයෙන් අන්තර්ජාල සන්නිවේදන තාක්ෂණය ලබාදීම සදහා ගූගල් සමාගම මගින් ක්‍රියාත්මක කළ 'ගුගල් ලූන්" වැඩසටහන අත්හැර දැමීමට තිරණය කර ඇතැයි වාර්තා වෙයි.  ආසන්න කාලසීමාවේදී මෙම වැඩසටහන ගූගල් සමාගමේ ඇල්ෆබට් ඉන්කෝපරේෂන් මගින් ක්‍රියාත්මක කෙරිණි. 2011 වසරේදී ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය යටතේ සන්නිවේදන කුලුණු ඉදිකිරීම වියදම් සහිත ස්ථාන වෙත අඩු වියදමකට අන්තර්ජාල සන්නිවේදන පහසුකම ලබාදීම සැලසුම විය. ඒ අනුව ටෙනිස් පිටියක් පමණ විශාලත්වයෙන් යුත් මෙම බැලූනය අදාළ සන්නිවේදන උපකරණද සමග ගුවන්ගත කිරීම සිදුවිය.
 

එහිදී එම බැලූනයට අවශ්‍ය බලශක්තිය සූර්ය බලය මගින් ලබා  ගැනුණි.  එහෙත් මෙම ව්‍යාපෘතිය තවදුරටත් වාණිජමය අතින් සාර්ථක නොවීම එය අත්හැර දැමීමට තීරණය කළ බව ඇල්ෆබට් ඉන්කෝපරේෂන් සමාගම පවසයි. විශේෂයෙන්ම මෙම ක්‍රමවේදයේ තාක්ෂණය මෙන්ම දේශපාලනික කාරණා 
සම්බන්ධයෙන් මතු වූ ගැටලු ඒ සදහා හේතු වී ඇතැයි ලූන්ගි ප්‍රධාන විධායක නිලධාරි ඇලස්ටෙයාර් වෙස්ටිගාර්ත් පවසා ඇත. ඒ අනුව මේ හරහා දිගුකාලීන, තිරසාර ව්‍යාපාරයක් බිහිකිරීම අසීරු වී ඇතයි ඔහු සඳහන් කර තිබේ.  මෙම ලූන් ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වන රිච් ඩෙවෝල්ට අනුව දැනට දශකයකට පමණ පෙරාතුව ලොව තුළ ජංගම දුරකථන සන්නිවේදන පහසුකම් සැපයීමේදී ඒවාට අවශ්‍ය කුලුණු ඉදිකිරීම වියදම් අධික ගැටලුවක් වූ බවත්, ඒ අනුව මෙම විකල්පය යෝජනා වූ බවත් පවසා සිටියි.


එහෙත් අද වනවිට එම ගැටලු නිරාකරණය වී තිබෙන බවත් ඔහු සදහන් කරයි.  කෙසේ වෙතත් සිය ක්‍රමයේදී ඉදිරිපත් කෙරුණු හීලියම් බැලූන දින 100ක කාලයක් ගුවනේ රඳවා තිබිය හැකි බවත්, එහි සවිකර ඇති සන්නිවේදන උපාංග මගින් සාමාන්‍ය සන්නිවේදන කුලුණකින් ආවරණය වන ප්‍රදේශයකට වඩා 200 ගුණයක් විශාල  ප්‍රදේශයක් ඉන් ආවරණය කරන බවත් ඔහු සඳහන් කරයි.