"මම මරණයට බය නෑ. මාව නිහඩ කරන්න කිසිම බලවේගයකට බැහැ. මගේ ජීවිතය නැතුව ගියත් ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා" යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.  කටුවාපිටිය ශුද්ධවූ සෙබස්තියන් මුනිතුමාගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට ඊයේ එක් වෙමින්  අගරදගුරුතුමෝ මේ බව සඳහන් කළහ. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ මෙසේද පැවසූහ. රටේ පොදු සම්පත් විනාශ කරන එක අපට අනුමත කරන්න බැහැ. වැරැද්දක් කළොත් වැරදියි කියලා කියන්නට අපට දහිරිය තිබෙන්නට ඕනෑ. හරි දෙයක් කළොත් හරි යයි කියන්න අපි පුරුදු  විය යුතුයි. මොන පක්ෂයේ එක්කෙනාද, ආගමේ කෙනාද, ජාතියෙ කෙනාද කියන එක නෙමෙයි වැදගත් වන්නේ හරි දේ කිරීමයි. මෙතන වෙලා තියෙන්නේ ජාතියක් වශයෙන්, රටක් වශයෙන් අපේ හෘදසාක්ෂිය කියන එක මියයමින් පවතිනවා.


හෘදසාක්ෂි ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක්. මේ රට තුළ අද සිදුවෙමින් තිබෙන තත්ත්වය මැන බලා අපි දැනගත යුතුයි අපි අපේ හෘදසාක්ෂිය ඉදිරියට ගත යුතුයි. හෘදසාක්ෂියට අනුව කටයුතු කළ යුතුයි. අපේ ජාතිය, අපේ ආගම කියලා වෙන් වෙන්ව  ජීවත් වෙන්නට උත්සාහ කරන්නේ නැතුව අවනීතිය කරන්න උත්සාහ කරන්නේ නැතිව භාෂාව, ආගම තුළ නීතිය අවනීතිය කරන නැතුව, ජීවත්වීමට අපි උත්සාහ ගත යුතුයි.  අපි කිතුනුවන් හැටියට අපි දන්නවා මේ  දේවස්ථානය ශුද්ධවන්තයන්ගේ භූමියක් බවට පත් වෙලා තියෙනවා.


දේවස්ථාන භූමිය තුළ සිහිවටනයේ එම මියගිය අයගේ නම් සඳහන් කරලා තියෙනවා. ඒ තමා ධෛර්යවන්තකමේ සලකුණ. දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල නිසා එදා උදේ නිදාගත්තේ නැහැ. ලෑස්ති වෙලා පල්ලියටද ගියා. දේව විශ්වාසය තුළ ජීවත්වන්නට ශුද්ධවූ සෙබස්තියන් මුනිඳු අපට එතුමාගේ ජීවිතයෙන් පෙන්වන්නේ එතුමා බය නැහැ. දහිරියවන්තය. අපි පීඩාවට පත්වුණ ජනතාවක්.


ඔබගේ පවුල් බොහොමයක නෑදෑයො නැති වෙලා තියනව. ආදරවන්තයෝ නැතිවෙලා තියෙනවා මේ බෝම්බ ප්‍රහාරය නිසා. තරුණ  පිරිස කරපු මේ අසාධාරණ වැඩ නිසා. ඉතින් අපි  ඉදිරියේදී අධෛර්යට පත් වෙලා ඉබි කට ඇතුලට රිංගනවා ද? අපගේ ජීවිතය එම අභියෝගයෙන් ශක්තිමත් වෙලා ඉදිරියට ගෙන යන්න ඕනෑ, දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරමින් අන්න ඒක තමයි අපේ වගකීම. කෑගැසීම් තුළින් සත්‍ය බොරු කරන්නට බැහැ. සත්‍ය සත්‍යමයි. බොරුව බොරුව මයි.



ක්‍රිස්තියානි නායකත්වය කියලා කියන්නේ දහිරියවන්තයා බය නැතුව කතා කරන එක. ඔබගේ අගරදගුරුතුමා  මේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්නේ අන්න එහෙමයි. මොකද මේක මගේ වගකීම. ඒකෙන් පැනල යන්ඩ මට බැහැ. ඇතැම් අය මටම ෆේස්බුක් වලින් බණිනවා. ජනතාවගේ දියුණුව වෙනුවෙන්, ප්‍රගතිය වෙනුවෙන් කතා කරන්නට අපි බැඳී සිටිනවා. ඒ නිසා අපේ නායකත්වය ද මේ ගැන ඉගෙන ගන්න ඕනෑ.  කිසිම බලවේගයකට අපිව දෙවියන් වහන්සේන්ගෙන් වෙන් කරන්න බැහැ. දෙවියන් වහන්සේගේ ආදරයෙන් වෙන් කරන්න බැහැ. අපි  ඒ වෙනුවෙන් පෙනී සිටින්නට ඕනෑ. දහිරියමත් වන්නට ඕනෑ. ඒ අනුව දෙවියන් වහන්සේගේ ආදරයට අපේ ජීවිතවල මීටත් වඩා ඉඩ දෙමින් ශුද්ධවූ සෙබස්තියන් මුනිතුමාගේ ජීවිත දර්ශය තුළ ශුද්ධවන්ත ජීවිතයක් ගත කිරීමට අද දින  අධිෂ්ඨාන කර ගනිමු.


මීගමුව ශාන්ත පීතර මීසම් සේවක හා දිසානායක ගියොම්නෝනිස් පියතුමා හා සීදුව පාරිශුද්ධ දේවමාතාවගේ දේවස්ථානයේ මිසම් සේවක ලියෝ කැමිලස් පියතුමා සමගින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ මෙම මංගල දිය දිව්‍ය පූජා යාගය පැවැත්වූහ.  කටුවපිටිය දේවස්ථානයේ මීසම් සේවක මංජුල නිරෝශන් පියතුමා සමගින් මීසම් සභාව එක්ව මෙම මංගල දිව්‍ය පූජාව සංවිධානය කර තිබිණි.


-කොච්චිකඩේ වාර්තාකරු -