ජන සන්නිවේදන ක්ෂෙත්‍රයේ ප්‍රවීණ ක්‍රියාධරයෙකු හා දේශකයෙකුවූ  එඩ්වින් ආරියදාස මහතා අද(22) අභාවප්‍රාප්ත විය. මියයනවිට 98 වැනි වියේ පසුවූ ඒ මහතා “ඇවිදින පුස්තකාලය” යන නමින්ද ඇතැම් තැනක හැඳින්වූ අතර විදෙස් පුවත් රසවත් ලෙස  ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට ඉදිරිපත් කිරීමේ රුසියෙකු විය.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙකුවූ ඔහු කලා කීර්ති, කලා ලංකා, ආර්ය ශ්‍රී ජනතා ප්‍රබෝධිනී, විශ්ව මාධ්‍ය බහුශ්‍රැත, අධ්‍යාපන ශූරී යන සම්මානිත පදවි වලින්ද පිදුම් ලැබූවෙකි. ආරියදාස මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ද සැලකෙයි.
විජේතුංග කරුණාරත්න එඩිවින් ආරියදාස උපත ලැබුවේ 1922 දෙසැම්බර් 3 වන දින දකුණු ශ්‍රී ලංකාවේ උණවටුනේය. ඔහුගේ පියා වී. කේ. ඒබ්‍රහම් අප්පුහාමි,
මව සිසිලියානා හාමීය. ඔහුට වැඩිමහල් සහෝදරයන් තිදෙනෙක් සහ වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් සිටියහ. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය උණවටුන බෞද්ධ මිශ්‍ර පාසලෙනි. ද්විතීයික අධ්‍යාපනය ලබාගත්තේ ගාල්ලෙහි මහින්ද විද්‍යාලයෙන් ය.
1945 දී ලංකාවේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් උපාධියක් ලබා ගත්තේය. ටික කලක් මහින්ද විද්‍යාලයේ ඉගැන්වූ ඔහු නැවත කොළඹ බලා පැමිණ රක්ෂණ සමාගමක ලිපිකරුවෙකු ලෙස සාමාන්‍ය රැකියාවක නිරතවිය.
1949 මාර්තු 3 වන දින ඔහු ලේක් හවුස් පුවත්පත් ආයතනය හා සම්බන්ධ විය.  දිනමිණ, ඩේලි නිවුස්, සන්ඩේ ඔබ්සර්වර්, සිළුමිණ හා ජනතා පත්තරවල කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වූ ඔහු පසුව ලේක්හවුස් පළ කළ සඟරාමය පුවත්පතක්වූ "නවයුගය" හි ප්‍රධාන කර්තෘවරයා විය.
පසුව ඔහු ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂෙත්‍රයෙහි ජන සන්නිවේදනය පිළිබඳ අධ්‍යයනවේදීන්ට ඉගැන්වීම ආරම්භ කළේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය ඉගැන්වීම සඳහා විෂය නිර්දේශය සකස් කළ පුද්ගලයාද විය. එසේම, ඔහු ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලයේ මාධ්‍ය අධ්‍යයන හඳුන්වාදීමටද සම්බන්ධ විය. කොළඹ විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන ඩිප්ලෝමාව ආරම්භ කිරීම සඳහා ඔහු බෙහෙවින් සම්බන්ධ වූවෙකි.

ඉංග්‍රීසි වචන සඳහා නව සිංහල පද හඳුන්වා දීමටද එඩ්වින් ආරියදාස මහතා සම්බන්ධ විය.
අන්තර්ජාලය, මාධ්‍ය රූප, සජීවිකරණය ආදිය ඔහු නිර්මාණය කළ වචනයි.
ලෝක තොරතුරු ගැන බුදු දහම ගැන,උපදේශනය ගැන ඔහු පොත් පත් රැසක් ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය මගින් පළ කර ඇත. ඔහු සැකසූ පරිවර්තන කෘතින්ද රැසකි.
ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමිකරගත් ඒ මහතා විවිධ රාජ්‍ය ආයතනවල උපදේශකයෙකු ලෙස උසස් තනතුරු ද හෙබවීය.
ඔහු විවාහ දිවියට පිවිස සිටියේ නැත. ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙනු ඇත.