ශ්‍රී ලංකාව තුළ  ජාත්‍යන්තර මැණික් අලෙවි සහ ප්‍රදර්ශනාගාරයක් පිහිටුවීම හරහා අපේ මැණික් සඳහා ඉහළ මිලක් සහ සැබෑ වටිනාකමක් හිමිවෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා දන්වා සිටී. ජාත්‍යන්තර මැණික් අලෙවි මධ්‍යස්ථානයක් සහ ප්‍රදර්ශනාගාරයක් රත්නපුර නගරයේ පිහිටුවීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාව වෙනුවෙන්  පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යතුමා මෙම අදහස් ප්‍රකාශ කර ඇත. වාසුදේව නානායක්කාර මහතා මේ දිනවල රජයේ නිරෝධායන  මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙම පණිවුඩය නිකුත් කර තිබේ.



"මෙම ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානය සහ ප්‍රදර්ශනාගාරය ඉදිකිරිම ශ්‍රී ලංකාවේ ප්‍රධාන මැණික් ව්‍යාපාරිකයන්ට මෙන්ම  ගම් මට්ටමින් උදැල්ලෙන්, කුඩෙන්, ඇළ දොළේ මැණික් ගරන අයටත් විශාල වාසියක් වෙනවා. ඒ තත්වය උදා වෙන්නේ ජාත්‍යන්තර ගැනුම්කරුවන් මෙම ස්ථානයට පැමිණීම තුළයි.  ශ්‍රී ලංකාවේ මැණික් සම්බන්ධව ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ පොළේ ඉහළ පිළිගැනීමක් සහ ප්‍රසිද්ධියක් ඇති නිසා අපගේ රට තුළම මෙම ව්‍යාපාරය පවත්වාගෙන යෑම රටට බොහෝ සෙයින් වාසිදායක වන වෙනවා. සබරගමුව ඉතිහාසයේ දිගුකාලීන සිහිනයක් මේ සමග සැබෑ වන අතර, මේ සඳහා බොහෝම වෙහෙසක් අප සමග දැරූ රත්නපුර මැණික් සංගමයේ නිලධාරීන් සහ සාමාජික එකමුතුවටත් අපගේ ගෞරවය හිමිවිය යුතුයි.


මෙයින් මත්තට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මැණික් සම්බන්ධතා  ගොනුවන කේන්ද්‍රය බවට පන්වන්නේ රත්නපුර  මෙම ජාත්‍යන්තර අලෙවි මධ්‍යස්ථානයයි.  අපේ රටේද විවිධ පළාත්වල සිටින මැණික් ව්‍යාපාරිකයන්, සුළු අලෙවිකරුවන්ටද  මේ තුළින් පහසුකම් ලැබෙන අතර සංචාරක කර්මාන්තය ආශ්‍රිතව රැකියා දහස් සංඛ්‍යාවක් බිහි වෙනවා” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය පණිවුඩයේ සඳහන් කර ඇත.