පාර්ලිමේන්තුවේ කොරෝනා ආසාදනයවූ සභිකයින් අතරින් වැඩිම පිරිසක් ආශ්‍රිතයින් බවට පත්කර ඇත්තේ රාජ්‍ය ඇමති පියල් නිශාන්ත බව මේ වනවිට වාර්තාවේ. නිශාන්ත මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වී නොමැති වුවත් ඔහු දේශපාලන සාකච්ඡා උත්සව රැසකට සහභාගීවී තිබීම මෙයට හේතුවයි.
පසුගිය සෙනසුරාදා කළුතර ටැංජරින් හෝටලයේ පැවැති උත්සවයකට රාජ්‍ය ඇමැතිවරයා සමග අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්ද එක්වූයේ පීරිස් මහතාගේ අමාත්‍යංශයට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යංශයක් පියල්ට පවතින බැවිනි. මෙම අවස්ථාවේ ඉතා සමීපව පියල් හා ජීඑල් අදහස් පළ කිරීම් හමුවීම් සිදු කරගෙන තිබීම නිසා ඇමති ජීඑල් ඊයේ පියල්ට කොරෝනා බව දැනගත් වහාම කලබලයට පත්ව ඇති අතර ස්වයං නිරෝධායනයට යොමුවූ බව මාධ්‍ය වෙතද දැනුම් දෙනු ලැබුවේය.

මින් ඉහත දයාසිරි,වාසුදේව හා හකීම් කොරෝනා වැළඳුණ බව වාර්තාවූ අවස්ථාවල ඔවුනගේ පවුලේ අයට කොරෝනා වැළඳුණ බවට වාර්තාවී නොතිබූ නමුත් රාජ්‍ය ඇමති පියල් නිශාන්තට ධනාත්මක වෙද්දී ඒ මහතාගේ බිරිය හා දියණියට ද කොවිඩ් - 19 ආසාදනය වී ඇති බව ඔවුන්ගේ කළ රැපිඩ් ඇන්ටිජන් පරීකෂණවලින් තහවුරු වී තිබේ. පියල් නිශාන්ත මහතාට පුතුන් දෙදෙනෙකුද සිටින අතර ඔවුන්ට කළ පරීක්ෂණ සෘණාත්මකවී ඇත.
පියල් නිශාන්ත මහතාට කොරෝනා බෝවන්නට ඇත්තේ කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී බවට සැක පහළව ඇත. එහි සිටි කාන්තාවකට කොරෝනා ආසාදනයව තිබීම එයට හේතුවයි.
පසුගිය සෙනසුරාදා පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා එදින කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වී සිටි අවස්ථාවට
නාමල් රාජපක්ෂ, විදුර වික්‍රමනායක, සිසිර ජයකොඩි යන රාජ්‍ය ඇමැතිවරුන්ද, සංජීව එදිරිමාන්න, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් පාලන නියෝජිතයන්, කළුතර දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 150ක් පමණ ද එක්ව තිබේ. මෙම රැස්වීමට සහභාගි වී සිටි සැලසුම් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙක් සහ සංවර්ධන නිලධාරියෙක් කොවිඩ් වැලඳී සිට ඇතැයිද මේ වනවිට අනාවරණය වී තිබේ.

සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකු සමග පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා එකට දිවා ආහාරයද ලබා ගෙන ඇත. පසුව කළුතර මුහුදේ දිය නා ඇතැයිද සෞඛ්‍ය අංශවලට අනාවරණය වී තිබේ.
පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා කළුතර ටයර් කම්හලක් විවෘත කිරීමේ උත්සවයටද සහභාගි වී තිබේ.
 එම උත්සවයට ජනපති, ඇමති විමල් ඇමති අමරවීර ඇමති රමේෂ් ඇමති රෝහිත ඇතුළු මැතිඇමතිවරුන් රැසක්ද නිලධාරීන් හා පරිවාර පිරිස් රැසක්ද සහභාගී වූහ.


කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුව රාජ්‍ය ඇමැතිවරයා, බිරිය සහ දියණිය කොග්ගල ප්‍රදේශයේ යුද හමුදාව මගින් පාලනය කරන ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර ඇති අතර දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර සහ මන්ත්‍රී රවුෆ් හකීම්ද එම ස්ථානයේ තවමත් නිරෝදායනය වෙමින් සිටින බව වාර්තාවේ.
පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයින් වීම නිසා කාර්ය මණ්ඩලයේ 10 ක් හා ආරක්ෂකයින් 06 ක් මේ වනවිට නිරෝධායනය වෙති.
 කොරෝනාවෙන් ආරක්ෂා වීම පිණිස කෑගල්ලේ ආන්දෝලනයක් ඇති කළ කාලි මෑණියන්ගේ පානය ලබාගැනීමෙන් පසු තමන්ට කොරෝනා වැළඳීමේ ඉඩකඩ අඩු බවට තම පාර්ලිමේන්තු සගයින් සමග පියල් නිශාන්ත කතාබස් කර තිබූ බවද අනාවරණයවේ.