ඊයේ (12) යුද හමුදාපතිවරයා කියා සිටියේ පෙබරවාරි මාසය වනවිට කිසියම් හෝ කොරෝනා එන්නතක් අනිවාර්යයෙන්ම මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවය. එන්නත්කරණය සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය හමුදාවේ මූලිකත්වයෙන් සිදුවන බව ද යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.
වාර්තාවන පරිදි ලංකාවට මුලින් ගෙන්වන්නේ ඉන්දියාවේ තවම අත්හදා බලමින් තිබියදී එරට හදිසියේ අනුමැතිය දුන් Bharat Biotech එන්නතය.  එම එන්නත සහ ඔක්ස්ෆර්ඩ් එන්නත (AstraZeneca) ඉන්දියාවේ නිපදවීම අරඹා ඇති නමුත් ඔක්ස්ෆර්ඩ් එන්නත පෙන්වා ඇති සාර්ථකත්වය භාරත් බයෝටෙක් එන්නත පෙන්වා නැත.
ඔක්ස්ෆර්ඩ් එන්නත විශාල වශයෙන් ඉන්දියාවේ නිපදවන අතරේ අපනයනයටද සූදානම් කර තිබෙන අතර පසුගිය සතියේ
ඉන්දියානු රජය වඩා වටිනා ඔක්ස්ෆර්ඩ් එන්නත තම ජනතාවට වැඩිපුර ලබාදීමේ අටියෙන් එය අපනයනය තහනම් කරන ලදි. අනතුරුව දේශිය වශයෙන් අත්හදාබලමින් තිබෙන  Bharat Biotech එන්නතට හදිසියේ අනුමැතිය දෙන ලදි. අපනයනය සඳහා දිරිගන්වන්නේද එම එන්නතය.
මෙම හදිසි අනුමැතිය ඉන්දියාවේ වෛද්‍යවරුන්ගේ විමතියට හා අප්‍රසාදයට හේතුවූ අතර බීබීසී ඇතුළු විදෙස් මාධ්‍ය වලින් පවා ඒ ගැන විශේෂ ලිපි පළවූයේ ජනතාවට අහිතකර විය හැකි එන්නතකට හදිසි අනුමැතියක් දීම භයානක ප්‍රතිඵල පෙන්විය හැකි බවට කරුණු දක්වමිනි.
කොරෝනා නිසා සැම රටකටම බලපෑ ආර්ථික කඩාවැටීම ගොඩගැනීමේ හොඳම විසඳුම ලෙස සලකා අසාර්ථක බාල එන්නතකින් ආදායම් ලබන්නට ඉන්දියාව සැරසෙන බවට විවේචන එල්ලවී ඇත.
මෙම අනුමැතියෙන් අනතුරු බ්‍රසීලය, මියන්මාරය ආදී රටවල් කිහිපයකට මෙම එන්නත් අපනයනයට දැනටමත් ඉන්දියාව සමග ගිවිසුම් ගතවී ඇත.

ඉන්දීය විදේශ ඇමතිවරයා ලංකාවේ ජනපති හමුවීමට පැමිණ ලංකාවටද මෙම එන්නත ලබාදීමට එකඟතාවයක් ඇති කරගත් බව වාර්තා විය.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන නොමැති එන්නතක් මෙරටට රැගෙන ඒමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පවසා තිබේ.
සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ මෙරටට කොවිඩ් එන්නත ගෙන ඒමට කටයුතු කරන්නේනම් ඒ සඳහා තාක්ෂණික කමිටුවල උපදෙස් ලබාගත යුතු බවය.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අනුමැතියටවත් යටත් කර නැති අවදානම් සහගත එන්නතක් අපේ රටට ගෙනඒම භයානක විය හැකි බවයි.
“පාවිච්චි කරන රටේවත් හරි පිළිගැනීමක් නැති එන්නතක් අපිට වැඩක් නෑ. ඒ නිසා තාක්ෂණික කමිටුවල උපදෙස් අරගෙන මෙම එන්නත   ගෙන්වන්න ඕනේ.” යනුවෙන් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ පැවසීය.