රත්ගම කලපුවේ පිහිටි පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ නෙදර්ලන්ත ජාතික හිමිනමක් 08වනදා දහවල් රත්ගම කලපුවේදී මියගොස් ජලයේ පාවෙමින් තිබියදී සොයාගත් අතර ලැබී ඇති සාක්ෂි අනුව හිමිනම අභිරහස් ලෙස ඝාතනය කර ඇති බව හඳුනාගෙන තිබේ.
මළ සිරුර සොයා ගන්නා විට එහි දෙපා වයරයකින් ගැට ගසා සිරුරු ජලය තුළ ගිල්වීමට කොන්ක්‍රීට් ගලක් ද එල්ලා තිබී ඇති බව නිරීක්ෂණයට ලක් වුණු බව පොලිසිය සඳහන් කළේය.

නෙදර්ලන්ත ජාතික 56 හැවිරිදි මෙම හිමි නම ලංකාවේ බුදු සසුන ගැන පැහැදී එරට සිට මෙරට ස්ථිර පදිංචිය පිණිස වැඩමවා ජිනවංශ නමින් පැවිදිව භාවනානුයෝගීව දූපතක පිහිටි මෙම ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරමින් සිටි බව පැවසේ.

එහි තවත් ආරණ්‍යවාසී විදේශීය භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම වැඩ සිට ඇති අතර පුරුද්දක් ලෙස දූපතේ සිට ගොඩබිමට ඔරුවක් පැදගෙන ඒම කර තිබේ. ගොඩබිමේ දායකයින්ගෙන් පින්ඩපාතය ලබාගැනීම පිණිස ඔරුව තනිවම පැදගෙන පැමිණි උන්වහන්සේ 5 වනදා පිණ්ඩපාතයට වැඩමවා යලි නොපැමිණීම සම්බන්ධයෙන් ආරණ්‍ය සේනාසනයේ පිරිස කලබලයට පත්ව උන්වහන්සේ සොයන්නට පටන්ගෙන තිබූ අතර සිරුර හමුවූයේ දින 3 කට පසුය.

මීට පෙර ද උන්වහන්සේ ආරණ්‍යයෙන් පිටව ගොස් දින දෙක තුනකට පසුව පැමිණෙන අවස්ථා තිබී ඇති නිසා ආරණ්‍යවාසීන් මුලදී සැකකර ඇත්තේ හිමියන් යළි පැමිණෙනු ඇති බවයි.
පොලිසියටද පැමිණිලි කර සොයමින් සිටියදී උන්වහන්සේගේ සිරුර කලපුවේ පාවෙමින් තිබෙනු ප්‍රදේශවාසීන් දැක ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව එදිනම සවස උන්වහන්සේගේ සිරුර ගොඩට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත යැවූ බවද පොලීසිය පැවසීය.
කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ, මෘත දේහය පළමුවෙන් පී.සී.ආර්.
පරීක්ෂණයක් සඳහා භාජනය කර පසුව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විමර්ශන සිදු කරයි.