
කොළඹ දිසාපතිවරයාගේ කොළඹ 07, විජේරාම මාවතේ නිල නිවෙස පිහිටි භූමියේ ඇති ළිඳ තුළ විදේශීය නිෂ්පාදිත ගිනි අවියක් තිබී පෙරේදා (07) සොයාගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
පොලිස්පති නිල නිවෙස හා අගවිනිසුරු නිල නිවෙස අතර දිසාපති නිල නිවෙස පිහිටා තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
කොළඹ දිසාපතිවරයාගේ නිල නිවෙස මේ දිනවල අලුත්වැඩියා කරන අතර එම කටයුත්ත සඳහා පැමිණ සිටි සේවකයකු ළිඳ තුළ ගිනි අවියක් තිබෙනු දැක ඇතැයි පොලිසිය කියයි.
දිසාපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහු මේ බව පොලිසියට දැනුම්දී ඇත. කුරුඳුවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අමිත් ජයමහ මහතා ඇතුළු පොලිස් කණ්ඩයාමක් එහි ගොස් ළිඳ තුළ තිබූ ගිනි අවිය ගොඩ ගෙන එය වැඩිදුර පරික්ෂණ සඳහා පොලිසියට ගෙනවිත් ඇත. විදේශීය නිෂ්පාදිත මෙම ගිනි අවිය ළිඳ තුළට දැමුවේ කවුද යන්න ගැන තවම තොරතුරු අනාවරණය වී නොමැති බව පොලිසිය කීය.
ගිනි අවියේ සඳහන් අංකය ඔස්සේ එහි අයිතිකරු සොයා ගැනීමට පොලිසිය පරික්ෂණ පවත්වාගෙන යයි. කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක අමිත් ජයමහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.
- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -
Comments
Post a Comment
Your comment will be visible after approval