මුහුණු පොත හරහා ඇති වූ දැනහැඳිනගැනීමක් මත ලුණුගම්වෙහෙර, එකමුතුගම පදිංචි බාලවයස්කාර දැරියක
නීත්‍යනුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් දූෂණය කළ බවට චෝදනා ලැබූ අම්බලන්තොට පදිංචි
තරුණයකු මේ මස 24දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමහාරාම මහෙස්ත්‍රාත් හා
අතිරේක දිසා විනිසුරු කාංචනමාලී සුසන්තා ගුණසේකර මහත්මිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අම්බලන්තොට, රුහුණු රිදියගම,
බෝලානේ පදිංචි 18 හැවිරිදි
තරුණයෙකි.

09 වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිය දියණිය පසුගිය 08දා සිට නිවෙසින් අතුරුදහන් වී ඇති බවට
දැරියගේ පියා විසින් ලුණුගම්වෙහෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව ලුණුගම්වෙහෙර
පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එල්.ජී. නිමල් මහතා හා පොලිස් විශේෂ
කාර්යාංශයේ නිලධාරීන් එක්ව සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු හා බාලවයස්කාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරු
හා බාලවයස්කාරිය අතර මුහුණු පොත හරහා වසර එකහමාරක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවක්
පවත්වාගෙන ගොස් ඇති බවයි. තමන්ට නිවෙසේ සිටිය නොහැකි බවත් පැමිණ තමන්ව රැගෙන යන ලෙසත්
බාලවයස්කාර දැරිය කරන ලද ඉල්ලීමක් අනුව සැකකරු පසුගිය 07 වැනි දින රාත්‍රි ගම්පහ සිට බස්
රථයකින් අම්බලන්තොට පිහිටි ඔහුගේ නිවෙසට පැමිණ පසුදින ලුණුගම්වෙහෙර පිහිටි දැරියගේ නිවෙස අසලට
ගොස් තිබේ. එම අවස්ථාවේදී දැරිය පෑන් දෙකක් රැගෙන ඒමට කඩේට යන බව පවසා නිවෙසින්
එළියටවිත් සැකකරු සමඟ පලාගොස් ඇතැයි හෙළිවී තිබේ.

සැකකරු පිළිබඳව දුරකථන ඇමැතුම් වාර්තා හරහා සිදුකළ විමර්ශනයකට අනුව සැකකරු අම්බලන්තොට
බෝලාන ප්‍රදේශයේ පිහිටි වගා බිමක ගසක් උඩ ඉදිකර තිබූ පැලක සිටියදී 10දා අත්අඩංගුවට ගෙන
තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී මහෙස්ත්‍රාත්වරිය සැකකරු මේ මස
24දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර බාලවයස්කාර දැරිය හම්බන්තොට අධිකරණ වෛද්‍ය
නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

තංගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රවීන්ද්‍ර අබේපිටිය, ලුණුගම්වෙහෙර
පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.


මත්තල - ඩී.එන්. ජයසේකර