පළමු වසර සඳහා ළමයින් ඇතුලත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ලබාගත් ඇඹිලිපිටිය ජනාධිපති විදුහලේ විදුහල්පතිනිය අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද දින අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසමට ලැබුන පැමිණිල්ලක් මත මෙම වැටළීම කළ බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.
ඇය පාසලේ ක්‍රීඩාපිටිය අසලදී අදාල අල්ලස් මුදල ගනිද්දී අත්අඩංගුවට පත්වී ඇත.

2021 වසර සඳහා පළමු වසරට ළමයෙක් ඇතුළත් කිරීම සඳහා ඇය එම මුදල අද (දෙසැම්බර් 02) උදෑසන 10ට පමණ පිට්ටනිය ගාවට ඇවිත් අතේ තබන්නැයි දෙමාපියන්ට දන්වා ඇත. එම අවස්තාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් වෙස් වළාගෙන රැකවල්ලා සිට සියලු සාක්ෂි පටිගත කරගෙන ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.
 

ප්‍රදේශයේ ඉහළම අධ්‍යාපන සාධන මට්ටම පවත්වායන පාසලක් ලෙස ප්‍රකට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය පසුගිය කාලයේ උසස් පෙළ ප්‍රතිඵල වලින්ද විශාල සිසු දස්කම් (වෛද්‍ය 17 ක් ඉංජිනේරු 19 සමත් ) පෙන්වූ පාසලකි. මෑතක 5 ශිෂ්‍යත්වයෙන් 200 ගත් 10 දෙනාගෙන් කෙනෙකුද මෙම පාසලෙන් බිහි විය. එවැනි කීර්තිමත් ඉතිහාසයක් පවතින මෙම පාසලට ළමයෙකු ඇතුළත් කිරීමේ වටිනාකම ඇපයට තබා ඉන් ප්‍රයෝජන ගැනීමේ අටියෙන් පුද්ගලිකව මුදල් රැස්කිරීමේ චේතනාවෙන් මෙම අල්ලස් ලබාගැනීම සිදු කර තිබෙන බව නිලධාරීන් දන්වා තිබේ.
ඇය අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.