දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරන පොලිස් නිලධාරින්, විවිධ ආයතන සේවකයන් ආදී විවිධ පිරිස් අතරින්  කොවිඩ් 19 (කොරෝනා) වයිරස ආසාදිතයන් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.  මිහින්තලේ හා ඔයාමඩුව නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටී නාවික හමුදා භටයන් අටදෙනකු ද කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ තේජන සෝමතිලක මහතා පැවැසීය. මොවුන් කොළඹ වරාය ආශ්‍රිතව සේවය කළ අය බව ඔහු සඳහන් කළේය. හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්‍ෂකවරයකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් වන පොලිස් නිලධාරින් 33 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඇතුළු විවිධ අංශවල රාජකාරි කරන උපපොලිස් පරික්ෂකවරුන් තිදෙනකු, පොලිස් සැරයන්වරුන් 11 දෙනකු, පොලිස් ආරක්ෂක සහායකයකු, කොස්තාපල්වාරියන් සිවුදෙනකු, ආධුනික පොලිස් කොස්තාපල්වරුන් සිවුදෙනකු මෙසේ නිරෝධායනයට යොමු කර සිටිති. මීට අමතරව හලාවත මූලස්ථාන පොලිසියට  අනුයුක්තව රාජකාරි කරන බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව
පී.සී.ආර්. පරික්‍ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.  මහනුවර බෝගම්බර පැරැණි බන්ධනාගාර පරිශ්‍රයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි බන්ධනාගාර ජේලර්වරයකුට හා රැඳවියන් 26 දෙනකුට ද කොවිඩ් ආසාදනය වී ඇති අතර ඔවුන්ට තෙල්දෙණිය මූලික රෝහලේ විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත. මේ අතර බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානය අවට විශේෂ පොලිස් ආරක්‍ෂකයන් යෙදවීමට ද පියවරගෙන ඇති බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසිය.


කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් හඳුනාගෙන සිටි පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපතිවරයාගේ බිරිඳට හා පුතුට ද වයිරසය ආසාදනය වී ඇතැයි පී.සී.ආර්. පරික්‍ෂණවලින් තහවුරු වී තිබේ.   දිවුලපිටිය, කටුවැල්ලේගම ඇඟලුම් ආයතනයක සේවිකාවන් දෙදෙනකුට ද කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඒ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන්   15ක් හා ආසාදිත දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන් එම නිවෙස්වල, නේවාකාගාරවල ස්වයං නිරෝධායනයට යොමු කිරිමට පියවර ගෙන ඇතැයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා සඳහන් කළේය. මෙම ආසාදිත සේවිකාවන් දෙදෙනා කටුවැල්ලේගම හා කිඹුලාපිටිය පදිංචිකාරිනියක් බවත්, ඔවුන්ගේ අශ්‍රිතයින්ද පී.සී.ආර්. පරික්‍ෂණ සඳහා යොමු කරන බවත් ඔහු පැවැසීය. යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් ද නව ආසාදිතයන් හදෙනකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව එම  කොට්ඨාසයෙන් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 27ක්  දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අවිස්සාවේල්ල සීතාවකපුර කර්මාන්තපුරයේ හා දිවුරුපිටිය ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක  සේවය කරන අය වන අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රඹුක්කන හා වරකාපොල රෝහල් වෙත යවා ඇතැයි යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන සෞඛ්‍ය පරික්ෂක කෝලිත ආරියදාස මහතා පැවැසීය.  ඔවුන් ගමන් කළ ත්‍රිරෝද රථවල රියැදුරන් ඇතුළු ආශ්‍රිතයන් 600 දෙනකු පමණ මේ වනවිට නිරෝධායනය කර ඇති අතර යටියන්තොට නගරයේ වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක් හා ඖෂධ අලෙවිසලක් ද වසා දමා ඇත. පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ තුන්තානේ පිහිටි රබර් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක සිදුකළ පී.සී.ආර්. පරික්‍ෂණවලින් එහි  සේවය කරන 12 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.


මෙම ආසාදිතයන් පාදුක්ක, හංවැල්ල සහ හෝමාගම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත්, ආශ්‍රිතයත් තිරෝධායනය කිරීමටත් පියවර ගෙන ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ලක්ෂ්මන් රාජපක්‍ෂ මහතා පැවැසීය. අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශයෙන් මේ වනවිට කොවිඩ් ආසාදිතයන් 58 දෙනකු වාර්තා වී ඇති අතර කල්මුණේ ප්‍රදේශයෙන් ද ආසාදිතයින් 86 දෙනකු වාර්තා වී ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඒ. ලදාහරන් මහතා පැවැසීය. මේ නිසා එම ප්‍රදේශයන්හි නිරෝධායන නීති දැඩි කිරීමටත්, පී.සී.ආර්. පරික්‍ෂණ ප්‍රමාණය වැඩි කිරීමටත් පියවර ගෙන ඇතැයි ඔහු කීවේය.  කොවිඩ් ආසාදිතයගේ ආශ්‍රිතයන් 212 දෙනකු මහනුවර නගරයේ හෝටල් 3ක ද  නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන් අතර විදේශිකයකු ද වන බව ආරක්‍ෂක අංශ ආරංචි මාර්ග පවසයි.



මහනුවර දළදා මාලිගාවට ආසන්නව නගර මධ්‍යයේ පිහිටි මෙම හෝටල කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් නගරයට හා නිවෙස්වලට යාම නිසා රෝගය පැතිරිමේ අවදානමක් මතුව තිබෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.  තලවකැලේ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් ද නව කොරෝනා වයිරස් ආසාදිතයන් සිවුදෙනෙක් වාර්තා වී තිබේ.  බගවන්තලාව බොගවාන වතුයායට අයත් ලිස්ඩ්ට වතුයායේ එකම පවුලේ පස්දෙනකුට සහ ව්‍යාපාරිකයකුට ද කොවිඩ් ආසාදනය වී ඇතැයි බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ. ගනේෂ් මහතා පැවැසීය.



බම්බලපිටිය ප්‍රදේශයේ රැකියාවක නිරත වන මීට පෙර ආසාදිතයකු ලෙස හඳුනාගත් අයකුගේ පියා, මව, බිරිඳ හා දරු දෙදෙනා තමන්ම එම වතුයායේ පදිංචි වෙළෙඳසල් හිමිකරුවෙක්  මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. එහි වතු නිවාස සියල්ල විෂබීජහරණයට ලක්කළ බව බොගවාන වතුයායේ අධිකාරි නලිද අල්විස් මහතා පැවැසීය. සෞඛ්‍ය නීති උල්ලංගනය කරමින් පවත්වාගෙන යාම හේතුවෙන් පසුගියදා මුද්‍රා තැබුණු අවන්හලේ සේවකයන්ට කළ සී.සී.ආර්. පරික්‍ෂණවල දී එහි අයකැමිවරයාට හා සේවකයින් දෙදෙනකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. එම අයකැමිවරයාගේ බිරිඳට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු පොලිසිය මෙම අවන්හල පරික්ෂාවට ලක්කර තිබේ.


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සැපැයූ එප්පාවල, කටියාව ප්‍රදේශයේ පදිංචිකරුවකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. ගාල්ල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී සිදුකළ අහබු සී.සී.ආර්. පරික්‍ෂණයකින් එහි නඩු කටයුත්තකට පැමිණ සිටි 60 හැවිරිදි කාන්තාවකට ද වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මෙහිදී අධිකරණ නිලධාරින්, නීතීඥවරුන්, පොලිස් නිලධාරීන් ඇතුළු 313 දෙනෙක් අහඹු ලෙස පී.සී.ආර්. පරික්ෂණයට ලක්කර ඇත. ගාල්ල, මිනුවන්ගොඩ පරිගණක අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක සේවය කරන උඩුගම පදිංචි අයකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.  එම මධ්‍යස්ථානයට පැමිණි අයකුට කොරෝනා ආසාදනය වී තිබීම නිසා මෙම පුද්ගලයා ඇතුළු එහි කිහිපදෙනෙක් පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමු කර ඇති අතර එහිදී මේ බව තහවුරු වී ඇත.


කොවිඩ් ආසාදනය වී සිටි පැල්මඩුල්ල, පාතකඩ ප්‍රදේශයේ පදිංචි බැංකු නිලධාරිනියගේ මවට ද එම වයිරසය ආසාදනය වී ඇති බවත්, ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පවුල් 7ක 30 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කළ බව පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී හිරන්ති ජයසිංහ මහත්මිය පැවැසුවාය. මහනුවර නගරයේ පුද්ගලික දුරකතන සමාගමක සේවකයකුට ද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි හෙළිවී ඇති අතර ඔහුගේ  තොරතුරු මෙතෙක් සෞඛ්‍ය අංශ වෙත ලබාදී නැතැයි සෞඛ්‍ය අංශ පවසයි. එහි සේවය කළ සෙසු පිරිස් නිරෝධායනය සඳහා මහනුවර පිහිටි හෝටලයකට යොමු කර ඇතැයි ද සෞඛ්‍යය ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ අතර කොවිඩ් ආසාදනය වී පේරාදෙණිය රෝහලේ දී මිය ගිය පුද්ගලයාගේ සිරුර භාරගැනීමට ඥාතීන් ඉදිරිපත් වී නොමැති අතර අද (24) උදෑසන 9.00ට පෙර කිසිවෙක් ඉදිරිපත්නො වුණොත් කොරෝනා නීති අනුව රජයේ වියදමින් එය ආදාහනය කිරීමට පියවර ගන්නා බව එම රෝහලේ හදිසි මරණ පරික්‍ෂක අමල් ජයවර්ධන මහතා පැවැසීය.  මොහුගේ ඥාතීන්දේ හය භූමදානය කරන්නට දෙනවා නම් පමණක් භාරගන්නා බව ඥාතීත් ප්‍රකාශ කර ඇති නිසා දින හතරක් තිස්සේ එය රෝහල් මෘත ශරීරාගාරයේ තැපත් කර ඇතැයි ඔහු කීවේය. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය ගාල්ලේ, මිලිද්දුව පදිංචි 46 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරකුට ද කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන අතර ඔහුගේ බිරිඳ ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ ගුරුවරියක බව වාර්තා වේ.