7.00am ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD bulletin #20) උදෑසන නිකුත් කළ නිවේදනයේ පරිදි සුළි කුණාටුව ත්‍රීකුණාමලයේ උතුරු දෙසින් ලංකාවට ඇතුළු වූ නමුත් වේගය පැ.කි.මී 12 ක් බව දක්වා ඇත. දිවයිනට ඇතුළුවූ පසු බටහිර දෙසට එය හැරුණ බවත් බ්‍රහස්පතින්දා උදේ ගතවූ පැය 6 ක කාලයේ දිවයිනේ මධ්‍ය ලක්ෂය වෙත ගමන් කර ඇති බවත් දන්වා ඇත.

4.30am කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උදෑසන නිකුත් කළ නිවේදනයේ පරිදි සුළි කුණාටුව රාත්‍රී තිරියාය හා කුච්චවේලි අතරින් ඇතුළු වූ බවත් පැ.කි.මී 90 දක්වා සුළගේ වේගය වැඩිවිය හැකි බවත් දන්වා ඇත.උතුරු මුහුද රළු විය හැකි බවද දන්වා ඇත.

12.00am කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රාත්‍රී නිකුත් කළ නිවේදනයේ පරිදි සුළි කුණාටුවේ කේන්ද්‍රය ලංකාවට ළඟාවන්නේ බ්‍රහස්පතින්දා උදයේය.රාත්‍රී 11 වනවිට කි.මී30 ක් ලංකාවට නුදුරින් එය පවතින බව දන්වා ඇත.

11.00pm සජීවී චන්ද්‍රිකා රූප ලබාදෙන සූම් අර්ත් දර්ශකය අනුව බදාදා පස්වරු 11 වනවිට තවම බුරවි සුළි කුණාටුවේ මධ්‍ය ලක්ෂය ශ්‍රී ලංකාව පසුකර නැත. සුළගේ වේගය පැ.කිමී 75 ලෙස දැක්වේ. බ්‍රහස්පතින්දා උදේ 5.30 වන විට මධ්‍ය ලක්ෂය ශ්‍රි ලංකාව වෙත ළඟාවන බව දැක්වේ.  

Link - https://zoom.earth/storms/burevi-2020/



10.15 pm මුලතිව් කෝකිලායිහි සියලුම ධීවර පවුල් කොක්කුතුඩුවායිහි පිහිටි රජයේ පාසල් දෙකක් වෙතට රැගෙන යාමට මුලතිව් පොලීසිය කටයුතු කර තිබේ. පවුල් 300 කට ආසන්න පිරිසක් මෙලෙස ගෙනගොස් ඇත.

කෝකිලායි ප්‍රදේශයට මේ වන විට වර්ෂාව ඇදහැලෙන බවත් සුලි කුණාටුවේ බලපෑම තවම දැඩිවී නැති බවත් වාර්තාකරු පවසයි. පුද්ගලයින්ට සහන සැලසීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම යුදහමුදාව සහ ආපදාකලමනාකරණ නිලධාරීන් මේ වන විට සීරුවෙන් සිටින බව පැවසේ.




9.05pm  බුරවි සුළි කුණාටුව ගැන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට්විටර් මගින් අදහස් දක්වමින් තමිල්නාඩු මහ ඇමති සමග තමා කථා කළ බවත් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග කෙරෙහි යොමුවීමට උපදෙස් දුන් බවත් දන්වා ඇත. අවතැන් කඳවුරු සූදානම් කරන ලෙසද තමිල්නාඩුවට දන්වා ඇත.

8.55pm ‘බුරවි’ සුළි කුණාටුව දිවයිනට ඇතුළුවූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේය. නමුත් ආරම්භය ප්‍රචණ්ඩ බවක් ඔහු පවසා නැත.


7.00pm  ‘බුරවි’ සුළි කුණාටුව දිවයිනට ආසන්නයේ පවතින අතර ඉදිරි පැය 2 තුළ දිවයින වෙතට පැමිණීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.
රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 80 -90පමණ වන බවයි. විටින් විට පැ.කි.මී 100 දක්වා වැඩි විය හැකියි.
මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (03) උදයවරුව වන විට පැමිණෙනු ඇතැයි දන්වා ඇති අතර මේ හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා වන පුනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, මට්ටමට වඩා මීටර් 1ක් පමණ ඉහළ යා හැකි බවත්  වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකි බවත් පවසා ඇත.