ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකුගේ පපුවට වෛද්‍යවරයෙකු වායු රයිෆලයකින් වෙඩි තබන ලද සිදුවීම පසුගිය ඉරිදා සිදුව තිබුණි.
සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තවම ප්‍රතිකාර ලබන අතර ඔහුගේ පපුවේ දකුණු පසට වෛද්‍යවරයා වෙඩි තබා ඇත.
වෛද්‍යවරයාගේ නිවසට යාබදව පිහිටා ඇති විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ මිතුරන් සමග ක්‍රීඩා කරමින් සිටි එම විදුහලේ 12 වසරේ සිසුවා පන්දුවක් වෛද්‍යවරයාගේ වත්තට වැටුණ පසු එය අහුලා ගැනීමට තාප්පයෙන් පැන නිවැසියන්ගේ අවසරය ඉල්ලූ බව පරීක්ෂණවලදී අනාවරණය වන අතර එම අවස්ථාවේ මං කරන්නම්කො  හොඳ වැඩක් කියමින් කේන්තියෙන් නිවස වෙත දිවගිය වෛද්‍යවරයා

වායු රයිෆලයක් ගෙනවිත් සිසුවාගේ පපුව මැද ඉලක්ක කර වෙඩි තබා ඇත.
වෙඩි වැදී තුවාල ලද සිසුවා රෝහලට ඇතුළත් කරන්නට සිසුවා සමග පැමිණි මිතුරන් හා අසල්වැසියන් ක්‍රියා කර තිබුණි. වෛද්‍යවරයා පොලිසියට ගොස් ව්‍යාජ පැමිණිල්ලක් සිදු කර දන්වා ඇත්තේ තම නිවසේ වාහන වලට අලාබ කරන්නට මෙම සිසුවා කටයුතු කළ නිසා වෙඩි තැබූ කතාවකි.


නමුත් සිද්ධිය දුටුවන්ගේ සාක්ෂි අනුව එවැන්නක් සිදුව නැති බව පොලිසියට ඒත්තු යන ලදි.
සිද්ධිය සම්බන්ධ විමර්ශන වලින් පසු අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කළ පසුව ලබන මස 2 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා. මහරගම පිළිකා රෝහලට (අපේක්ෂා) අනුයුක්තව කටයුතු කරන තාරක ප්‍රියජීව ඇල්විටිගල නමැති මෙම වෛද්‍යවරයා එහි ලේ බැංකුවේ සේවය කරන බව පැවසිණි. රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මාධ්‍ය වෙත දන්වා තිබුනේ තාරක නමැති මෙම වෛද්‍යවරයාගේ ක්‍රියාව ගැන කම්පා වන බවත් ඔහු අපේකෂා රෝහලට නින්දාවක් අත්කරදී ඇති බවත්ය.


වැඩිදුර සොයා බැලීමේදී තාරක ඇල්විටිගල නමැති මෙම වෛද්‍යවරයා රාජකීය විදුහලේ ආදි සිසුවෙකු බවත් රුසියාවේ Smolensk State Medical Academy වෙතින් උපාධිය ලබාගත් අයෙකු බවත් පසුව හෝමාගම මූලික රෝහලේද සේවය කර ඇති බවත් තොරතුරු වාර්තාවේ. ඔහු Arawwala Family Medicare හිද වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන බව වාර්තා වේ. ඔහු එක් දියණියකගේ පියෙකි.


මෙම වෛද්‍යවරයාට මානසික රෝගයක් තිබේද යන්න සොයා බලන ලෙස ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විනිසුරු නියම කර තිබෙන අතර ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවාගේ තත්වය බරපතල නොවන බව වාර්තාවේ.