පසුගිය දිනවල නන්දා මෝටර්ස් වාහන අංගනයේ සිදුවූ වාහන අනතුර සිදු කළ බවට චෝදනා ලැබූ පොලිස් නිලධාරියෙකුගේ දියණිය වන රෙෂානි මලීෂා රත්නායක ගැන මාධ්‍ය තුළ විවිධ පුවත් පළවුණත් ඇගේ සැබෑ ඡායාරූපයක් පළවී නැති බව කියැවේ. අනතුර අවස්ථාවේ ලබාගත් ඡායාරූප ප්‍රසිද්ධ වීමේදී කළු හා තැඹිලි පැහැති ඇඳුමක් ඇඳගෙන අනතුරට පත් වාහනය අසළ ජංගම දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිටි තරුණිය අදාළ අනතුර සිදු කළ තැනැත්තිය බවට ප්‍රකට වුවත් සත්‍ය ලෙසම අනතුර සිදුකර තිබුනේ ඇය නොව ඇගේ මිතුරියකි.

මෙම ඡායාරූපයේ සිටියේ සින්ඩි වික්‍රමනායක නමැති රෙෂානිගේ යෙහෙළියකි. ඇය අනතුර සිදුවන අවස්ථාවේ රෙෂානි පැදවූ වාහනය අසළ වෙනත් වාහනයක පැමිණ තිබූ අතර මිතුරියට වූ කරදරය දැක වාහනයෙන් බැස ඇයට උදව්වට සිටි බව කියැවේ. කෙසේ වෙතත් අනතුර සිදු කළ තැනැත්තිය ලෙස ඇයව හඳුන්වා දෙමින් වැරදි අර්ථකථනයක් සමාජ මාධ්‍ය තුළ පළවෙද්දී සිදුවීමට දිනකට පසුව ඇය සිය ෆේස් බුක් ගිණුම ඔස්සෙ නිවැරදි තොරතුරු පළ කළාය. ඒ මෙසේය.

“ඊයේ පස්වරුවේ නන්දා මෝටර්ස් හි සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන්, මම අනතුරට සම්බන්ධ නැති බවත්, මම වාහනයේ රියදුරු නොවන බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මම ලෑන්ඩ් කෘසර් ඉදිරිපිට වෙනම වාහනයක සිටි අතර අපි අපගේ මෝටර් රථය මන්දගාමී කරද්දී වාහන අලෙවිසැලේ අනතුර දුටුවෙමු. ලෑන්ඩ් කෘසර් රථය පදවා ඇත්තේ මා විසින් නොව වෙනත් අයෙකුය.

මෙම අනතුරින් පසුව අදාළ සිද්ධිය ගැන අධික උනන්දුවක් පාඨකයින් තුළ පැනනැගි නිසා  සින්ඩිගේ නිවැරදි කිරීම ගණනට නොගෙන ඇයගේ තවත් ඡායාරූප විවිධ ලෙස සමාජ මාධ්‍ය තුළ හුවමාරුවී ඇති අයුරුද වාර්තා විය.
මේ දක්වා රෙෂානිගේ ඡායාරූප යයි කියමින් පළවූ සියලු ඡායාරූප සින්ඩිගේය.