6.30am update

මහර බන්ධනාගාරයේ ඊයේ පස්වරුවේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් රැඳවියන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව
තවත් රැඳවියන් 35ක් හා නියාමකයින් 02 ක් තුවාල ලබා රෝහල්ගත කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර තිබේ.

11.20 pm update

වාර්තාවන ආකාරයට මෙම ගැටුම ආරම්භ වන්නේ රැඳවියන් කොටසකගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු කිහිපදෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරුවීම නිසාය. ඒ අනුව සිරකරුවන් තමන්ට වෙනම සිටින්නට පහසුකම් අවශ්‍ය බව පවසමින් වාදයක පැටලී ඇති බව කියැවේ. අනතුරුව එය ගැටුමක් දක්වා දුර දිගගොස් ඇති අතර ඇතැම් සිරකරුවන් බන්ධනාගාරයෙන් පැන යන්නට උත්සාහ කර තිබේ.
මෙම අවස්ථාවේ පැනයාමට උත්සාහ කරන සිරකරුවන්ට එරෙහිව වෙඩි තැබීමට බලධරයන් ක්‍රියා කර තිබෙන අතර එම වෙඩි තැබීමේදී මුල් අවස්ථාවේ එක් සිර කරුවෙකු මරණයට පත් විය.
කෙසේ වෙතත් එම සිදුවීමෙන් ටික වේලාවකට පසු නැවතත් සිරකරුවන් සිරකුටි කඩාගෙන පිටතට පැමිණ බන්ධනාගාරයේ කුස්සියට ගිනිතබන්නට හා කලහ කරන්නට පටන් ගත් බව පැවසේ. ඇතැම් සිරකරුවන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගන්නට උත්සාහ කිරීම්ද වාර්තාවී ඇත. එලෙස ඇපයට ගත් නිලධාරීන් මුදවා ගැනීමට ගිය මෙහෙයුමේදී තවත් සිරකරුවන් 3 දෙනෙකු මියගිය බව වාර්තා විය.
මේ වනවිට ගිනි නිවන හමුදාව ගින්න නිවන අතර සියලුම ආරක්ෂක අංශ එක්ව සාමූහික මෙහෙයුමක් මගින් තත්වය පාලනය කිරීමට උත්සාහ ගනිමින් පවතින බව වාර්තාවේ.

 

 11pm update
මහර බන්ධනාගාරයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 04 දක්වා ඉහළ ගොස් තිබේ.
 මළ සිරුරු 4ක් සහ තුවාල ලැබූ රැඳවියන් 25 දෙනෙකු රෝහල වෙත වාර්තා වී ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා තහවුරු කළේය.
මෙම සිදුවීම අතරවාරයේ බන්ධනාගාරය ඇතුළේ විශාල ගින්නක්ද හටගෙන තිබෙන අතර ගිනි නිවන රථ 06 ක් යොදවා මේ වනවිට එම ගින්න මැඩ පවත්වමින් සිටින බවද පැවසේ.

7pm update

මහර බන්ධනාගාරයේ ඇති වුණු කලහකාරී තත්වයේ දී රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වී තවත් තිදෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය පවසයි.
රැඳවියන් පිරිසක් පළා යාමට උත්සාහ දරා ඇති බවත් ඇති වූ තත්ත්වය පාලනය සඳහා වෙඩි තැබීම් සිදු කිරීමේදී මෙම මරණ වාර්තාවී තිබේ.
තත්වය පාලනයට මහර බන්ධනාගාරය අසලට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇත.
මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ සහයට පොලිස් කණ්ඩායම් 5ක් යොදවා තිබේ.