ඉතාලියේ අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමෙන් එයින් පිටතට ඒමට නොහැකිව සිරවී ජීවිතයත් මරණයත් අතර සටනක සිටි ඉතාලි ජාතිකයකු ශ්‍රී ලාංකිකයකු විසින් නිරුපද්‍රිතව බේරාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. එරට මාධ්‍ය වාර්තාකර ඇති අන්දමට සිය ජීවිත අවදානම නොතකා ගොස් මෙම වීර ක්‍රියාව සිදුකර ඇත්තේ ඉතාලියේ රැකියාවක නිරතව සිටින අසංක ඉරෝෂන් අත්තනායක නමැති ශ්‍රී  ලාංකිකයෙකි.

ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් ඉරෝෂන් අත්තනායක මහතා එරට රූපවාහිනී නාලිකාවක සිද්ධිය විස්තර කර ඇති ආකාරයට  ඔහු මොන්සා ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටියදී මෝටර් රථයක් ගිනි ගන්නවා දැක  ඇත. තමන්ගේ කාර් රථය නවතා වහාම ගිනි ගන්නා රථය අසලට දිවගිය ඉරෝෂන් මහතා විපරම් කර බලද්දී ගිනි ගන්නා එම රථය ඇතුළේ ඉතාලි ජාතිකයකු සිටිනු දැක තිබේ. 

 ගිනි ගන්නා රථයේ දොර විවෘත කර ඔහු ඉවතට ගැනීමට උත්සාහ කර ඇතත් දොරට අගුළු දමා තිබූ නිසා ඉරෝෂන් මහතා ගලක් ගෙන එයින් ගසා ඉදිරිපස වීදුරුව කඩා සිට් බෙල්ට් එක ගලවා පසුව ඔහු නිරුපද්‍රිතව ඉවතට ගත් බව ඔහු ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.


ඉරෝෂන් මහතා එරට රූපවාහිනී නාලිකාවකට හෙළිකර තිබෙන  ආකාරයට මෙම ඉතාලි ජාතිකයා බීමතින් සිට ඇති බවද කියති.තව විනාඩියක් දෙකක් ප්‍රමාද වූවා නම් ඉතාලි ජාතිකයා කාර් එක ඇතුළේම පිළිස්සී මිය යනවා යැයිද ඉරෝෂන් මහතා එම රුපවාහිනී  වැඩසටහනට සහභාගිවෙමින් පවසා  ඇත.

ගිනි නිවන භටයින් පැමිණ ගින්න නිවා දැමුවත් ඒ වනවිට කාර් රථය සම්පූර්ණයෙන්ම විනාශවී ගොස් තිබූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.  ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් සහ බොහෝ ඉතාලි ජාතිකයන් ඉරෝෂන් අත්තනායක මහතා කළ නිර්භීත ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රශංසා කර ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග කියයි. ඉරෝෂන් මහතා සමග ඔහුගේ බිරිඳ හා දරුවාද ඉතාලියේ වෙසෙන බව ආරංචිමාර්ග වැඩිදුරටත් කීය.  

 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-