සිල් රෙදි බෙදා දීම සම්බන්ධයෙන් එල්ල කර තිබූ චෝදනාවලින් තමන් හා අනූෂ පැල්පිට මහතා නිදොස්කොට නිදහස් කිරීම, සමස්ත රාජ්‍ය සේවයම අසාධාරණ බැදීම්වලින් නිදහස් කිරීමක් ලෙස තමන් දකින බව හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතා ඊයේ (19) පැවසීය.


එම සිද්ධිය සම්බන්ධ චෝදනාවට තමන් සිරගත කිරීමෙන් පසුව රාජ්‍ය සේවයම කඩා වැටුණු බව ද ඔහු කීවේය. සිල් රෙදි බෙදාදීම සම්බන්ධ චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව මාධ්‍යවේදීත් අමතමින් හෙතෙම ඊයේ (19) මේ බව සඳහන් කළේය.

එහිදී අදහස්
දක්වමින් හිටපු ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් රාජ්‍ය සේවයට තීරණ ගැනීමට සවියක් ලැබුණු බවය. සිල් රෙදි බෙදා දීම සම්බන්ධයෙන් තමන්ට ලැබුණු දඬුවම හේතුවෙන් රාජ්‍ය සේවය සම්පුර්ණයෙන්ම අකර්මණ්‍ය වූ බවත්, ඇතැම් අවස්ථාවල දී රාජ්‍ය නිලධාරින් තීන්දු තීරණ නොගෙන මගහැරිය බවත්, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සදහන් කළේය.

රාජ්‍ය සේවකයා තීන්දු තීරණ ගත යුත්තේ මහජනතාවගේ පැත්තෙන් යැයි කී වීරතුංග මහතා රට හදත ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය යැයි ද කීවේය.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා අදහස් දක්වමින් සඳහන් කළේ මෙම තීන්දුව පෞද්ගලිකව තමන්ට ලබා දුන් තීන්දුවක් නොව සමස්ත රාජ්‍ය සේවාව වෙනුවෙන් ලබා දුන් තීන්දුවක් බවය.

නිවැරදිව, අවංකව තීන්දු තීරණ ගතහොත් අධිකරණයේ දී තමන් ආරක්ෂා වන බව ද හෙතෙම පැවසීය.

මෙම නඩු තීන්දුවෙන් සමස්ත රාජ්‍ය සේවයේම ඇස් ඇරෙන බව කී පැල්පිට මහතා සියලුම රාජ්‍ය සේවකයන් රට ගැන සිතමිත් රාජ්‍ය සේවයේ යෙදිය යුතු බව ද සඳහන් කළේය.
- නාලක සංජීව දහනායක -