
මිරිහාන පොලිස් භූමියේ පිහිටි කොස්තාපල්වරියන්ගේ භට නිවාසය (බැරුක්කය) කඩා එහි තිබූ රන් භාණ්ඩ, මුදල් ඇතුළු දේපළ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
මෙම භට නිවාසයේ කොස්තාපල්වරියන් 14 දෙනකු නේවාසිකව සිට ඇති අතර ඔවුන්ට කොවිඩ් ආසාදනය වීම නිසා ඔවුන් 14 දෙනා නිරෝධායනය සඳහා හබරාදූවට යොමුකර සිටියදී මෙම සිද්ධිය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.
කොස්තාපල්වරියන් නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන් මෙම භට නිවාසයේ දොරගුලු දමා එහි යතුර මූලස්ථාන පොලිසියට බාර දී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි. මිරිහාන පොලිසියේ කොස්තාපල්වරියන් 11 දෙනකු හා කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරියන් තිදෙනකු මෙම නේවාසිකාගාරයේ නේවාසිකව සිටින බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් 6 වැනිදා රාත්‍රියේ කිසියම් පුද්ගලයකු එහි දොරගුලු කඩා භට නිවාසයට ඇතුළු වී එහි දේපළ සොරාගෙන ඇති බව එම උසස් නිලධාරියා කීය. එම නේවාසිකාගාරයට යාබදව කාන්තා පොලිස් පරීක්ෂක, පොලිස් පරික්ෂකවරියන්ගේ නේවාසිකාගාරය පිහිටා ඇති අතර කොස්තාපල්වරියන්ගේ භට නිවාසයේ දොරගුලු කඩා ඇති බව ඉකුත් 7 වැනිදා පෙරවරුවේ දැක ඇත. එහි ප්‍රධාන පොලිස් පරික්ෂකවරියක සිද්ධිය මූලස්ථාන පොලිසියට දැනුම් දී ඇත .
ඒ අනුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මිරිහාන අපරාධ ස්ථානීය පරික්ෂණ ඒකකය (සොකෝ) නිලධාරීන් ද යොදවා අදාළ ස්ථානය පරික්ෂාවට ලක්කර ඇත.
සැක කටයුතු කිසිඳු පුද්ගලයකු සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී නොමැති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම ස්ථානයේ තිබී සොරා සොරාගන්නා ලද දේපළ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් පොලිසිය අනාවරණය කරගෙන නොමැති අතර මෙම ස්ථානයේ කොස්තාපල්වරියන්ට අයත් රන්බඩු, මුදල්, ඇතුළු වටිනා දේපළ තිබී ඇති බවට තොරතුරු ලැබුණු බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.
පොලිස් කොස්තාපල්වරියන්ගේ නිරෝධායන කාලය නිමා වී ඔවුන් මෙම ස්ථානයට පැමිණි පසු එහි තිබී නැති වූ භාණ්ඩ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරි විමර්ශන සිදුකරන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මිරිහාන පොලිස් කාන්තා භට නිවාසය පොලිස් භූමියේ පිහිටා ඇති අතර පිටස්තර පුද්ගලයන්ට ඒ තුළට ඇතුළු වීමට කිසිඳු ඉඩක් නොමැති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
- ඉන්දිකා රාමනායක -