යුරෝපයේ ඇතිවී තිබෙන COVID-19 වසංගතයේ දෙවැනි රැල්ල ගැන තමා දැඩි කනස්සල්ලට පත්ව සිටියද, කලාපයේ ආසාදිතයන් වැඩිවීමේදී, එහි අවසන් විසඳුම 'ලොක්ඩවුන්' එකක් (ජාතික වශයෙන් අගුලු දැමීමක්) නොවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් අවධාරණය කරයි.

ඒ වෙනුවට මුඛ ආවරණ භාවිතයෙන්, දෑත් නිතර පිරිසිදු කිරීමෙන් සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමෙන් ජනතා ඒකරාශීවීම් පාලනයෙන් මාස 6ක් තුළ යුරෝපයේ ජීවිත 281,OOO ක් පමණ බේරාගත හැකි බව වෛද්‍ය ක්ලූජ් පෙන්වා දෙයි.

"වසංගතය පැතිරුණු මුල් අවධියේදී එදා සම්පුර්ණ ලොක්ඩවුන් එකක් අවසාන විසඳුම හෝ අවස්ථාව වුණා. මන්දයත්, මාර්තු මාසයේදී නව කොරෝනාව ගැන බොහෝ කරුණු කාරණා නොදන්නා පසුබිමක, වසංගතය සම්බන්ධයෙන් ලොව බොහෝ රටවලට ගත හැකිව තිබූ එකම හා පැහැර හැරිය නොහැකි අවසාන පියවර වුණේ එපමණයි. නමුත් මේ වනවිට වෛරසය පිළිබඳ බොහෝ දේ ලොව පුරා සෞඛ්‍ය විශේෂඥයන් අනාවරණය කරගෙන ඇති බැවින් 'ලොක්ඩවුන්’ යන්න අවසාන විසඳුම නොවිය යුතුයි.” වෛද්‍ය ක්ලූජ් පැහැදිලි කළේය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව, යුරෝපයේ බොහෝ රටවල නව කොරෝනා වෛරසය ආසාදිතයන් වේගයෙන් ඉහළ යමින් පවතින්නේ, දෛනික ආසාදනවල වාර්තාගත අගයන් සමගිනි. එසේ එක්සත් ජනපදය තුළද පසුගිය ජුලි මාසයට පසුව වසංගතයේ දෛනික ආසාදනවල

ඉහළ යාමක් පෙන්වයි. නව කොරෝනා වසංගතයෙන් දැනට වැඩිපුරම පීඩාවට පත්ව ඇති යුරෝපා රාජ්‍යයන් පහ වන්නේ, ප්‍රංශය, එක්සත් රාජධානිය, රුසියාව, ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තයයි. මේ තත්ත්වය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා හස්තය කලාපයේ රාජ්‍යයන්ට උපදෙස් දෙන්නේ, ප්‍රාදේශීය වශයෙන්, ඉලක්කගතව, ආසාදිත ප්‍රමාණයට අනුකූල වූ ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරන ලෙසය. එමගින් ප්‍රජාවන් සමඟ සම්බන්ධ වී ක්‍රියාමාර්ග ගැනීමක් මෙන්ම, නව කොරෝනා වසංගතය හමුවේ සමාන්තරව සිදුවන සමාජීය හා ආර්ථික හානියද වළක්වාගත හැකි බව ඔවුන් අවධාරණය කරයි.

නමුත් කෙටිකාලීනව, ක්ෂණිකව සිදුකළ යුතු සම්බන්ධතා බිඳ දැමීමේ 'ලොක්ඩවුන්’ එකක් සම්බන්ධයෙන් වූ කතාබහක් එංගලන්තය තුළ එරට විපක්ෂය විසින් කරළියට ගෙන තිබුණේ 'ලොක්ඩවුන් නොකළොත් දැරීමට සිදුවන හානිය වඩා වැඩි බව පෙන්වා දෙමිනි. නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය ක්ලූජ් පෙන්වා දෙන්නේ මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර එම රටේ ජනතාවගේ මානසික සෞඛ්‍ය සහ ගෘහස්ථ හිංසනය ඇතුළුව ඔවුන් ලොක්ඩවුන් තුළ අත්විඳින සමාජීය බලපෑම් ගැන මෙන්ම, ඵලදායී අන්දමින් ආසාදිත සිද්ධි පසුපස ලුහුබැඳීම සහ හෝඩුවාවන් ලබාගැනීම සඳහා කාලය උකහා ගැනීම ගැන රජයන් විසින් සලකා බැලිය යුතු බවය.

- නරේන් විශ්වජිත් -