යාපනයේ කලූන්දායි ප‍්‍රදේශයේ මුහුදු ජලය ගොඩ ගැලීම නිසා පවුල් 87 කට අයත් පුද්ගලයන් 317 ක් ඊයේ (29 දා) වන විට විපතට පත්ව ඇතැයි යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතා පැවසීය.


සාමාන්‍ය වර්ෂාවකින් පසුව ඊයේ (29 දා) අලූයම වන විට යාපනයේ කලූන්දායි ජේ-35 ග‍්‍රාම නිලධාරී කොට්ඨාසයේ නිවාස තුළට මුහුදු ජලය ගලා එන්නට පටන් ගැනීම නිසා ජනතාව තාවකාලිකව එම නිවාසවලින් ඉවත් වී තිබේ.

දිසාපති කාර්යාලයේ නිලධාරීන් ආපදා කළමනාකරණ නිලධාරීන් යුද හමුදාව පොලිසිය හා නාවික හමුදාව අදාළ ප‍්‍රදේශයට ඉතා ඉක්මනින් ළඟා වී ඇත.

ඔවුන් පවසන්නේ අධික වශයෙන් මුහුදු ජලය නිවාස තුළට ගලා එන්නේ නම් නිවාසවල පදිංචිකරුවන්ට වෙනත් ආරක්ෂිත ස්ථානයක් ලබාදීමට පියවර ගන්නා බවයි.

දිනසේන රතුගමගේ