දිනක් වයසැති බිලිඳියකගේ මළ  සිරුරක් රක්වාන ප්‍රදේශයේ නිවෙසක කැබිනට්ටුවක ලාච්චුවක දමා තිබියදී 19දා පස්වරුවේ සොයාගත් බව රක්වාන පොලිසිය කියයි.  තිස්තුන් හැවිරිදි දෙදරු මවක් උදරාබාධයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පෙර දිනයේ රක්වාන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වී ඇති අතර වෛද්‍යවරුන් ඇය පරික්ෂා කර බලා ඇය දරුවකු ප්‍රසූත කර ඇති බවට හෙළිකරගෙන අනතුරුව ඒ බව රක්වාන පොලිසිය දැනුවත් කර ඇත.



ඒ අනුව සිදුකළ පරික්‍ෂණයේදී ඇය විසින් ප්‍රසූත කළා යැයි කියන එම බිළිඳියගේ මළ සිරුර සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. එම තැනැත්තිය නිවසේදී දරු ප්‍රසූතිය සිදුකර අනතුරුව එම බිළිඳු සිරුර කැබිනට්ටුවේ ලාච්චුවකට දමා අධික ලේ වහනය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඇය රෝහල්ගත වන්නට ඇති බවටත් පොලිසිය සැකකරයි.

තිස්තුන් හැවිරිදි එම කාන්තාවට රක්වාන රෝහලේදී මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය පවසයි.  වසර ගණනාවක සිට ඇගේ සැමියාගෙන් වෙන්ව දියණියන් දෙදෙනා සමග එම නිවසේ ජීවත්වෙමින් සිට ඇති අතර අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇය ගැබ්ගෙන ඇති බවත් එය සමාජයෙන් වසන්කිරිම සඳහා මෙවැන්නකට  පෙළඹී ඇති බවත් පරික්ෂණවලදී අනාවරණය  වූ බව පොලිසිය පවසයි. ඒ බිලිඳු මළ සිරුර තිබූ ස්ථානයට එදින පස්වරුවේ පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හවුපේ එම්. ජයසිරි මහතා පැමිණ මහේස්ත්‍රාත් පරික්‍ෂණ කටයුතු සිදුකරනු ලැබීය. බිලිඳු සිරුර කහවත්ත මූලික රෝහලට ගෙන ගොස්  අධිකරණ විශේෂඥ වෛද්‍යවරයකු වෙත  ඉදිරිපත්කර පශ්චාත් මරණ පරික්‍ෂණයක් පවත්වා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

-රෝහණ සමරවීර-