තමා නිර්දෝෂී බව තම හෘද සාක්ෂිය හොඳින් දන්නා බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා (පො. පෙ.) පාර්ලිමේන්තුවේ දී ඊයේ (8) පැවැසීය.  තමා එල්ලුම් ගස් යවන්නට බැරි වුවහොත්
දේශපාලනයෙන් ඉවත්ව දලු කඩන බවට පසුගිය රජයේ අධිකරණ ඇමැතිවරිය ප්‍රකාශ කර තිබූ බව කී ප්‍රේමලාල් ජයසේකර මහතා තම දඩුවම රහස් පොලිස් නිලධාරීන් ගෙන්වා සැලැසුම් කොට සාක්ෂි හදා දුන් දඬුවමක් බව ද සඳහන් කළේය. මරණ දඬුවමට නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී සිය මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව එදිනට නියමිත විවාදයේදී අදහස් දක්වමින් එසේ කීය. ප්‍රේමලාල් ජයසේකර මහතා මෙසේ ද පැවැසීය.

“යහපාලන ආණ්ඩුව සමයේ අධිකරණ ඇමැති වූයේ කවුද? මගේ දඩුවම ගැන ඒ නිසා අමුතුවෙන් කිව යුතු නැහැ. රත්නපුර ජනතාවට මගේ ස්තුතිය පිරිනැමිය යුතුයි. 2001 වසරේ සිට මේ දක්වා පැවැති මැතිවරණ පහේදීම මට විශිෂ්ට ජයක් ලැබීමට හැකි වුණා. එයින්ම මගේ නිර්දෝෂී බව ඔප්පු කළ හැකියි. දිගින් දිගටම ජනතාව මා සමඟ සිටියේ ජනතාවට මා ආදරේ කළ නිසයි.  මා දේශපාලනයේදී ජනතාවට සේවය කළා මිස අත්වල ලේ  හෝ කුණු ගාගෙන නැහැ. අප ජනතාව අතරට යන විට දේශපාලන වශයෙන් අප ඉවත් කරන්නට බොහෝ දෙනකුට වුවමනා වුණා. පසුගිය කාලයේ අධිකරණ ඇමැතිනිය වූ තලතා අතුකෝරල මහත්මිය පවසා තිබුණේ මා එල්ලුම්ගස් යවන බවයි. එසේ කරන්නට නොහැකි වුවහොත් දේශපාලනයෙන්  ඉවත් වී දලු කඩන බව එතුමිය පවසා තිබුණා.

දුමින්ද සිල්වා නඩුවේ දී කටයුතු කළ ආකාරය පිළිබඳව අප හොදින්ම දුටුවා. රන්ජන් රාමනායක මහතා එහිදී අධිකරණයට බලපෑම් එල්ල කළ ආකාරය දුටුවා. හඬ පටවලින් එය ඔප්පු  වුණා. මට වුණේ අපරාධයක්. මෙය රහස් පොලිස් නිලධාරීන් ගෙන්වා සැලැසුම් කොට සාක්ෂි හදා කළ දෙයක්. එම රහස්  පොලිස් නිලධාරින්ට එරෙහිව කටයුතු කළ යුතුයි. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ජනතාව තුනෙන් දෙකක බලයක් දී තිබෙනවා. ජනපති  අගමැති මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාත් මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. රජය බිහි කරගැනීම සඳහා එතුමන්ලා විශේෂ උත්සාහයක් දැරුවා. විපක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පැමිණ නොයෙක් චෝදනා කළා. මා දරුවන් 4 දෙනෙකු සිටින පියෙකුයි. මගේ දිවුරුම් දීමට විරෝධය පළකරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිටව ගියත් මා නිර්දෝෂී බව මගේ හිත දන්නවා.

පිල්ලෙයාන් මන්ත්‍රීතුමා වසර පහක් තිස්සේ රඳවාගෙන සිටිනවා. මේ අපරාධ නැවැත්විය යුතුයි. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සමග එක්ව මේ රට හොඳ තැනකට ගෙන ඒම සඳහා අප කටයුතු කරනවා. වරදක් නොකර ඇතුළේ සිටින්නට සිදුවීම ගැන මා කනගාටුවට පත්වෙනවා. මෙලෙස පලිගැනීම් කරන්නට හොඳ නැහැ. මට මේ දේ වුණේ රහස් පොලිසිය සම්පුර්ණයෙන්ම සාක්ෂි නිර්මාණය කිරීමෙනුයි. ඒ පිළිබඳවත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. කොමිෂන් සභා සියල්ල අහෝසි කොට රට ඉදිරියට ගෙන යෑම සඳහා ජනපතිට මෙන්ම අගමැතිතුමාටත් අප ශක්තිය ලබාදෙනවා." යැයි ද ප්‍රේමලාල් ජයසේකර මහතා පැවැසීය.

-අංජුල මහීක වීරරත්න-