නුගේගොඩ නාලන්දාරාම පාරේ ඉදිකරමින් පවතින සිවුමහල් ගොඩනැගිල්ලක ඉහළ  මහළින් බිමට ඇදවැටී, එම ගොඩනැගිල් හිමිකරු ජිවිතක්ෂයට පත්ව ඇතැයි කොහුවල පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ 71 හැවිරිදි
විශ්‍රාමික  ඉංජිනේරුවරයකු බව පොලීසිය කියයි. කම්කරුවන් දෙදෙනකු යොදවා ගොඩනැගිල්ලේ සිවුවන මහලේ එක්රැස්ව තිබූ අබලි ද්‍රව්‍ය තොගයක් යන්ත්‍රයක ආධාරයෙන් (වොයිස්ට් එකකින්) ඉවත් කරමින් සිටියදී අබලි ද්‍රව්‍ය බහාලන යකඩ කුඩය, එකවරම සිවුවන මහලෙන් බිමට වැටීමට යාමේදී, එහි රැඳී සිටි  ගොඩනැගිල්ලේ හිමිකරු එය නවතාලීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේ දී බිමට ඇද වැටෙමින් තිබූ යන්ත්‍රයත් සමගම ව්‍යාපාරිකයාද බිමට ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.


අඩි හැටක පමණ උසකින් බිමට වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරුගේ කොඳුඇට පේළිය ස්ථාන දෙකකින් බිදී ගොස් තිබූ අතර හිසට හා පාදයකට ද සිදුව තිබූ තුවාල හේතුවෙන් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර පැය දෙකක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබූ බව පොලීසිය කියයි. ඒ අනුව මෘත දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් කළුබෝවිල හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිඳු කරන ලදී.

එහිදී ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තාවට අනුව උස් ගොඩනැගිල්ලකින් බිමට ඇදවැටී පපුවට,  කොදුඇට පේළියට හා පාදයකට සිදු වූ විවිධ තුවාල හේතුවෙන් අධික රුධිර වහනයක් මරණයට හේතුව බව, හදිසි මරණ පරික්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා නිගමනය කළේය.  පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය එස්.එම්.ඩී.පී. සෙනරත් මහත්මිය විසින් නිකුත් කර තිබුණි.

-ශාන්ත ප්‍රදීප් කුමාර-