නව කොරෝනා වසංගතයේ දරුණු ප්‍රතිවිපාක හමුවේ ටජ්මහල සහ අග්‍රා කොටුව මාර්තු මස 17 වනදා සිට වසා දමන ලදී. කෙසේ වෙතත්, මේ වන විට එය නැවත සංචාරකයින් සඳහා විවෘත කර ඇත්තේ නව ආරක්ෂිත මාර්ගෝපදේශ කිහිපයක් ද සමඟිනි.
COVID-19 වසංගතය හේතුවෙන් මාස හයක් පමණ කාලසීමාවක් තුළ වසා දැමුණු ටජ්මහල සහ අග්‍රා කොටුව සංචාරකයින් සඳහා නැවත මෙසේ විවෘත කරන ලද්දේ සැප්තැම්බර් 21 වන සඳුදා අලුයමය. නමුත් මෙහි පැමිණෙන  සංචාරකයින්ට COVID-19 ආරක්ෂණ නීති රීති අනුගමනය කිරීමට සිදුවනු ඇත. එමෙන්ම ඒ සඳහා දැඩි මාර්ගෝපදේශ සහ කෙටුම්පත් ද බළධාරීන් විසින් සකස් කර තිබේ. ටජ්මහල සහ කොටුව නැරඹීමට පැමිණෙන සංචාරකයින් විසින් එකම ආකාරයේ සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන් පිළිපැදිය යුතු අතර මෙම මාර්ගෝපදේශවලට සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමත් නිතර දෑත් පිරිසිදු කර ගැනීම ඇතුලු සනීපාරක්ෂක භාවිතයන් කිහිපයක්ද ඇතුළත් වේ.

ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ අධිකාරී පුරාවිද්‍යාඥ වසන්ත් කුමාර් ස්වර්න්කර් විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව සෑම දිනකම ටජ්මහල නැරඹීමට පැමිණිය හැක්කේ සංචාරකයින් 5,000 කට පමණි. එමෙන්ම ඔවුන් මෙම සංචාරකයින්  දෙවරකට කැඳවීමට කටයුතු කර තිබේ. එම වෙන් කිරීම අනුව සවස 2 ට පෙර 2,500 ක් සහ පසුව අනෙක් පිරිස කැඳවයි. අග්‍රා කොටුව නැරඹීමට දිනකට පැමිණිය හැක්කේ සංචාරකයින් 2500 කට පමණි.

මීට අමතරව මෙම ස්ථාන වෙත පැමිණීමේදී මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය වන අතර අදාළ සියලුම ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය හරහා මිලදී ගත යුතුවේ. මේ හේතුවෙන් ප්‍රවේශ පත්‍ර කවුන්ටර විවෘතව නොතැබේ.

කෙසේවෙතත් මෙම වසංගතයට පෙර, ටජ්මහල සෑම වසරකම මිලියන 7 කට අධික නරඹන්නන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ වාර්තාවක් ද තබා තිබුණි. ප්‍රධාන වශයෙන්, මෙය නැරඹීමට පැමිණි සංචාරකයින් විදේශ රටවලින් පැමිණි සංචාරකයින් වීම විශේෂත්වයකි. මේ අතර, අග්‍රා කොටුවද මිලියන 3 ක පමණ නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් වන අතර එය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ආදායමට විශාල දායකත්වයක් ලබාදෙන ලදි.

ටජ්මහල් මන්දිරය එකවර මාස හයක් වසා දැමූ පළමු අවස්ථාව මෙයයි. කෙසේවුවද නව වසංගතය හමුවේ අන්තර්ජාලය හරහා මෙසේ ටිකට්පත් මුදාහැරීම ද ඓතිහාසික සිදුවීමක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර කරයි.

මේ වන විට ඉන්දියාවේ අගුලු දැමීම ක්‍රමිකව ලිහිල් කරමින් පවතී. ඒ අතරතුර කෙසේ හෝ  ඩිජිටල් ටිකට්පත් ලබාගෙන, තම පවුලේ අය සමඟ පැමිණ ටජ්මහල නරඹීමට හැකිවන සේ නැවතත් සියලු කටයුතු ඉතා ආරක්ෂිතව යථාතත්වයට පත් කිරීමට ඉන්දීය රජය මෙසේ කටයුතු කර තිබේ.
Rishmi Ishara