ප්‍රේම සම්බන්ධතාව අතරමග නතර කළැයි උරණ වී සිය 22හැවිරිදි පෙම්වතිය මාතර කුමාරතුංග මාවතේදීම බලහත්කාරයෙන් ත්‍රීරෝද රථයකට දමා පැහැරගෙන ගොස් ඇයට තම ආදරය ඔප්පු කිරිම සඳහා පිහියකින් තමන්ගේ ගෙල හා අත කපා ගෙන තුවාල සිදු කරගත් පෙම්වතකු අත්අඩංගුවටගත් බව මාතර මූලස්ථාන පොලිසිය පවසයි.
මාතර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණිය මිතුරියන් දෙදෙනකු සමඟ ලඝු ලේඛන පන්තියකට සහභාගිවී නැවත නිවස බලා යන අතරතුරදී මෙම සිද්ධියට ලක්ව තිබේ.

පිහියක් පෙන්වා එම තරුණිය ත්‍රිරෝද රථයට බලහත්කාරයෙන් නංවාගෙන යන අතරතුර කාන්තාවක ඒ අසල රථ වාහන හැසිරවීමේ රාජකාරියේ නිරත පොලිස් සැරයන්වරුන් දෙදෙනකුට ඒ බව දැනුම්දී ඇත.

ඒ සමගම ත්‍රිරෝද රථය පිටුපසින් පොලිස් යතුරුපැදිය ලුහුබැඳ ගෙන ගොස් තිබේ.

පසුව ත්‍රිරෝද රථය කිරල කැලැවතුළට පලා ගොස් තිබූ අතර සැකකරු තරුණිය ද අල්ලා ගෙන පිහිය පෙන්වමින් පොලිසිය ඉදිරියට පැමිණීම වළක්වා ගෙන ඇත.  එම අවස්ථාවේ දී තරුණියගේ ජීවිතයට අනතුරක් සිදුවීම වැළැක්වීම සඳහා පොලිසිය ඉතා සූක්ෂම ලෙස සැකකරු සමඟ කතා බහ කරමින් ඔහු සන්සුන් කර ගැනීමට උත්සාහ කර තිබේ.

පොලිස් සැරයන් තුෂර ප්‍රියදර්ශන (61924) හා ඩී.එල්.ආර්. තුෂාර (60792) මේ අවස්ථාවේදී ඉතාම සුක්ෂම ලෙස සැකකරුගේ අවධානය ගනිමින් ඒ අතරතුරදී මාතර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් විජේතුංග මහතාටද ඇමතුමක් ගෙන සිද්ධිය දැනුම්දී ඇත.

සිද්ධිය ඉංග්‍රීසි චිත්‍රපටයක ත්‍රාසජනක දර්ශනයක් වැනිවිය. තරුණයා තරුණියට ඇති ආදරය පෙන්වීම සඳහා පළමුව තම අත වැලමිට අසල සිට පහලට කපාගෙන ගෙල ද කපා ගෙන තිබේ.

එවිට තරුණිය සිහිසුන්ව ඇද වැටී ඇති අතර ඇයට වතුර ටිකක් ඉසීමට පොලිසිය ළංවී ඇයගේ පියවි සිහිය ගැනීමට උත්සාහකරද්දී පොලිස් සැරයන්වරුන් දෙදෙනා පිහිය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මාතර මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් විජේතුංග මහතා ඇතුළු කණ්ඩායමක් ද පෞද්ගලික වාහනයකින් එම ස්ථානයට පැමිණ ප්‍රකෝපකාරීව හැසිරුණු සැකකරු අත්අඩංගුවට ගැනීමට සහාය වී තිබේ.

තුවාල සහිතව සිටි සැකකරු ඉතා ඉක්මණින් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය ක්‍රියාකළේය. පොලිස් සැරයන්වරුන් දෙදෙනා ඉක්මනින් ක්‍රියාත්මකවී උපක්‍රමශීලීව කටයුතු නොකළේ නම් විශාල අපරාධයක් සිදුවීමට ඉඩ තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතා ද ඔවුන්ගේ එම ක්‍රියාව ප්‍රශංසාවට ලක්කර තිබේ. මාතර හිත්තැටියේ පදිංචි 24 හැවිරිදි සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔහු දැනට පොලිස් ආරක්ෂාව යටතේ මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේන මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

- ක්‍රිෂාන් ජීවක ජයරුක් -