නිල නිවාස බාරදී නැති පරාජිත මන්ත්‍රීවරුන්ගෙන් ඒ නිවාස පාවිච්චිය  වෙනුවෙන් දිනකට රුපියල් පන්සියය බැගින් දඩ මුදලක් අය කිරීමට පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කර ඇත.  මහ මැතිවරණය පැවැත්වුණු ඉකුත් අගෝස්තු මස 5 වැනි සිට ගණනය කර  මෙම දඩ මුදල අය කෙරෙනු ඇත. මේ අතර පසුගිය මහ
මැතිවරණයේදී පරාජයට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් 13 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීරණයේ නිල නිවාස මෙතෙක් බාරදී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.  නිල නිවාස නැවත බාරදී ඇති හිටපු (පරාජිත) මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හතළිහකි.

පරාජිත මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නිල නිවාස බාරදීමට තවත් කාලයක් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.  පාර්ලිමේන්තුවට අලුතින් පත්වුණු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණය කර ලබාදීමට පාර්ලිමේන්තු නිලධාරීන් තීරණය කර ඇත. මේ අනුව නවක මන්ත්‍රීවරුන් අට දෙනෙකුට දැනටමත් මාදිවෙල මන්ත්‍රී නිල

නිවාස ලබාදී ඇත.  නිල නිවාස ඉල්ලා පාර්ලිමේන්තු නිලධාරින්ට අයදුම්පත් යොමුකරනු ලැබ ඇති නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හැට පහකි.  මේ සියලුම දෙනාට නිල නිවාස ලබාදීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවැසීය.

-සුජිත් හේවාජුලිගේ-