හිටපු ආරක්ෂක ලේකම් හේසිරි  ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ දුන් සාක්ෂි සම්බන්ධයෙන් හිටපු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මගින් පාස්කු ඉරුදින ප්‍රහාරය
පිළිබඳ ජනාධිපති  විමර්ශන කොමිසමේ බලය හා අධිකාරිත්වය නොසලකා හැර ඇති අතර එය හෑල්ලුවට ලක් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව එම කොමිසමට ඊයේ (22) දැනුම් දුන්නේය. එම නිවේදනය මෛත්‍රීපාල මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු වන සමීර ද සිල්වා මහතා විසින් නිකුත් කරනු ලැබ ඇති බවද එය හිටපු ජනාධිපතිවරයාගේ මුහුණුපොත ඔස්සේ ප්‍රචාරය කර ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කොමිසම් දැනුවත් කරමින් පැවසුවාය. එය මේ වනවිටත් විශාල පිරිසක් අතරට ගොස් ඇති බවද පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එය ඉවත් කරගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට නියෝග කරන ලෙසද කොමිසමෙන් ඉල්ලා සිටියාය.

හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ දී තිබෙන්නේ බොරු සාක්ෂි බව පවසමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය නිවේදනය පෙරේදා නිකුත් කර තිබිණි. එයින් තම සේවාදායකයා අගතියට පත්වන අතර කොමිසම හෑල්ලු කර ඇති බවද ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන් නීතියෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද හේමසිරි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ශාන් ජයසූරිය මහතා පෙරේදා  කොමිසමෙන් ඉල්ලා සිටියේය.  මෙම සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් කරුණු දැන්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකවම ඊයේ කොමිසම හමුවේ පෙනී සිටියේය.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ ඔහුගේ  නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ මෙම  නිවේදනයෙන් කොමිසම හෝ කිසියම් සාක්ෂිකරුවකු හෝ හෑල්ලුවට ලක් කිරිමට තම සේවාදායකයා වූ මෛත්‍රීපාල මහතාට අවශ්‍ය නොවූ බවය.  හේමසිරි මහතාගේ සාක්ෂිය මාධ්‍ය මගින් ප්‍රචාරය වූ ආකාරය තුළින් තම සේවාදායකයා පාස්කු ඉරිදා ප්‍රහාරයේ සියලු වගකීම භාරගත යුතු බවට සමාජය අදහසක් ඇති වන බවද ඒ අනුව මෙම නිවේදනය නිකුත් කර ඇති බවද ඔහු පැවසීය.  හරින් ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්ෂි දීමමෙන් පසුව  අගරදගුරුතුමන් වෙනුවෙන්ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ බවද තම සේවාදායකයා වෙනුවෙන් වන මාධ්‍ය නිවේදනය ගැන කතා කරන අය ඒ ගැන කතා නොකර සිටින්නේ ඇයිදැයි විමසන බවද නීතිඥ ගුණරත්න මහතා කීවේය.

කොමිසමේ ලබාදෙන සාක්ෂි සම්බන්ධයෙන් අගරදගුරුතුමන් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මාධ්‍ය නිවේදනයද තමන් අනුමත නොකරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පැවසුවාය. මෙවැනි කොමිසමට අපහාස කරන්නන් සම්බන්ධයෙන්  දඩුවම් කිරීමේ බලය අභියාචනාධිකරණයට ව්‍යාවස්ථානුකූලව පැවරී ඇති බවද මෙම ජනාධිපති කොමිසම පිහිටුවා ඇති පනත අනුවත් 2015 අංක 04 දරන වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනුවත් වැරදි දෙකක් කර ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව මකොමිසම හමුවේ පෙන්වා දුන්නේය.  කොමිසමේ ලබාදෙන සාක්ෂි සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කළ දෙපාර්ශ්වයම සම්බන්ධයෙන් කොමිසමේ තීරණය  හෙට දැනුම් දෙන බව කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතා පැවසිය.

-මුදිතා දයානන්ද-