ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ටන්ජා ගොන්ග්‍රිජ් මහත්මිය හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ මැතිතුමා අතර හමුවක්  අද 2020.09.10 දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

මහ මැතිවරණයේ ලද ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපපක්ෂ මැතිතුමාට සුභ පැතුම් එක් කළ  නෙදර්ලන්ත
තානාපතිනිය කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය පිළිබඳව  රජයට ප්‍රශංසා කළේය.
අනතුරට පත්  MT - නිව් ඩයමන්ඩ් තෙල් ප්‍රවාහන නෞකාවේ සිටි නෙදර්ලන්ත විශේෂඥයින් පිළිබඳව විමසූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙරටේ සමුද්‍රීය විශේෂඥයින් අතර පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
ඒ අනුව ඵෙතිහාසික අත්දැකීම් බහුල නෙදර්ලන්ත සමුද්‍රීය විශේෂඥයන්ගේ දැනුම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය විශේෂඥයන්ට ලබාදීමට නෙදර්ලන්ත දූත පිරිස එකඟතාවය පළ කළහ.
රෝහල් සහ පාළම් තැනීම, වෘත්තීය පුහුණුව සහ යාපනයේ දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් ඇතුළුව ආරක්ෂිත පානීය ජලය සහ කලාපයට වඩා හොඳ වාරිමාර්ග සැපයීම ඇතුළු ශ්‍රී ලංකාවේ තවත් ව්‍යාපෘති රැසකට නෙදර්ලන්තය මේ වන විට සහයෝගය දක්වනු ලබයි.
සේවා අංශය සහ ඒකාබද්ධ බහු බෝග කෘෂිකර්මාන්තය අතර ඉදිරියේදී සහයෝගීතාව වර්ධනය කර ගැනීම  පිළිබඳවද මෙහිදී  සාකච්ඡා කෙරිණි.