ඉදිරි මාස කිහිපයේදී ඇමෙරිකා එක්සත් ජනපදය වෙත බලපාන ශීත ඍතු තත්ත්වයන් සමඟ එරටින් වාර්තා වන නව කොරෝනා හෙවත් COVID-19 රෝගීන් සංඛ්‍යාවේ පිපිරුමක් දැකගත හැකි වෙනු ඇතැයි,
වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මිතිය සහ ඇගයීම් සදහා වන ආයතනයේ IHME (Institute for Health Metrics and Evaluation)අධ්‍යක්ෂ වෛද්‍ය ක්‍රිස් මරේ අනතුරු අඟවා සිටියි.

"පළමුවෙන්ම අපි දැක්කා ඇතැම් ප්‍රාන්තවල රෝගීන්ගේ අඩු වීමක්. හැබැයි එතැනදී ජනතාව තමන්ගේ පරෙස්සම අතහැරියා. ඔවුන් පෙරට වඩා එකිනෙකා අතර සබඳතා පවත්වා ගන්න උත්සාහ කළා. එතැනදී යළිත් වටයකට එම ප්‍රාන්ත තුළ ආසාදිතයන් ඉහළ ගියා. ඒ වගේම තමයි, මේ වෙරසය ගැන බලද්දී ඍතුමය වශයෙන් එල්ල වන බලපෑමත් වැදගත්.

මෙම IHME ආයතනය මඟින් සකස් කර ඇති ආදර්ශනයකට අනුව අද වනවිට එක්සත් ජනපදය තුළ COVID-19 හේතුවෙන් දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව 765කි. එහෙත් ලබන දෙසැම්බර් මාසය වනවිට එම සංඛ්‍යාව 3,000ක් දක්වා ඉහළ යා හැකි බව එහි සඳහන් වෙයි.

මේ අතර ඉදිරියේදී උදා වන මෙම තත්ත්වය පිළිබඳව මීට පෙර අදහස් දක්වා සිටි එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වළක්වා ගැනීම පිළිබඳ මධ්‍යස්ථානයේම අධ්‍යක්ෂවරයා, “මේ ශීත සෘතු කාලසීමාව ඇමෙරිකානු මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් අත්දකින්නට ලැබෙන වඩාත් අසීරුතම කාලයයි.”යනුවෙන්ද පවසා තිබුණි.

එරට ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුවද මේ දක්වා එරට තුළ ලක්ෂ 70කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් ලක්ෂ දෙකක සංඛ්‍යාවක් දැනටමත් මරණයට පත්ව ඇත. එසේ පසුගිය සතිය හා සාපේක්ෂව මේ සතියේදී එරට ප්‍රාන්ත 24කදීම රෝගීන් වැඩි වීමක් පෙන්නුම් කර තිබේ. මේ අතර පසුගිය සතියේදී අදහස් දක්වා සිටි එරට අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුසිද ශීත සෘතුවත් සමඟ පැමිණෙන අභියෝගයට’ සුදානමින් සිටින ලෙස එරට නගරවලින් ඉල්ලා සිටියේය. සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස් සනාථ කරමින් පසුගිය සිකුරාදා දිනයේදී එක්සත් ජනපදය තුළ නව කොරෝනා ආසාදිතයන් 55,054ක් වාර්තා වූ අතර, එය පසුගිය අගෝස්තු මාසය මැද සිට මේ දක්වා දිනක් තුළ වාර්තා වූ වැඩිම සංඛ්‍යාවද වී තිබේ.

එසේම එරට ප්‍රාන්ත හතරක් තුළ වාර්තා වූ අගයන් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවේ වාර්තාවද තබා ඇත.  මෙලෙස දෛනික ආසාදිතයන් ඉහළ යද්දී ලබන නොවැම්බර් 20දා පැවැත්වීමට නියමිත එක්සත් ජනපද ජනාධිපතිවරණය පැවැත්වීමේ ගැටලුවක්ද උද්ගතවී ඇතැයි වාර්තා පවසයි. විශේෂයෙන්ම නව කොරෝනාව හේතුවෙන් එරට ඡන්ද පොළ තුළ සේවය කිරීම සඳහා පිරිස් සොයා ගැනීමට නොහැකි වීම ඊට හේතුවයි. ඒ අනුව ප්‍රමාණවත් තරම් පිරිසක් සම්බන්ධ කරගැනීමට නොහැකි වුවහොත් එම ඡන්ද පොළ විවෘත කිරීමේ අවස්ථාවක් උදා නොවෙනු ඇතැයිද අදහස් පළ වී තිබේ.