COVID-19 වසංගතයේ බලපෑම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ බොහෝ ප්‍රදේශවලට නත්තල් උත්සව සංවිධානය නොවෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතරින් සෑම වසරකදීම පාහේ එරට තුළ දැවැන්ත
ආකාරයෙන් සංවිධානය කෙරෙන ආලෝක උත්සව යනාදිය මේ වසරේදී නොපැවැත්වීමට ඒවායේ සංවිධායකයන් දැනටමත් තීරණය කර තිබේ.

මෙම අවස්ථාවන් දැකබලා ගැනීම සඳහා බොහෝ පිරිසක් එක් තැනකට එක්රොක් වීමත්, නව කොරෝනා වසංගතය ව්‍යාප්තවීම පාලනය කරගැනීමේ උත්සාහයන් වෙත එම කටයුතු බාධාවක් වීමත් නිසා මෙම තීරණය ගෙන ඇතැයි ඔවුන් සඳහන් කරයි. එංගලන්තය තුළ මෙන්ම, ස්කොට්ලන්තය තුළදීත් මෙම අවස්ථා අවලංගු කිරීමට සැලසුම් කෙරී ඇත. ඒ අනුව ස්කොට්ලන්තයේ නැගෙනහිර ලෝතිආන්, උතුරු සහ දකුණු ලැන්කෂයර්, පර්ත් සහ කින්රෝස්, දකුණු අයර්ෂයර් සහ රෙන්ෆෙව්ෂයර් ඇතුළු පාලන ප්‍රදේශ රැසකදී මෙම නත්තල් ආලෝක උත්සව නැවැත්වී ඇත.

සාමාන්‍යයෙන් පෙර වසරවලදී මෙම උත්සව වෙත ඉතා ඉහළ ආකර්ෂණයක් හිමිවන අතර දහස් ගණනක පිරිස් ඒවා නැරඹීමට පැමිණෙති. මේ අතර, ලන්ඩන් නුවරදී සංවිධානය කෙරෙන නත්තල් ආලෝක උත්සව සම්බන්ධ අනාගතය පිළිබඳවද මෙතෙක් කිසිඳු පැහැදිලි අනාවරණයක් සිදුව නැත. එහෙත් ලන්ඩන් නුවර හයිඩ් පාක්හිදී සංවිධානය කෙරෙන වින්ටර් වොණ්ඩලෑන්ඩ් මෙවර සිය නත්තල් උත්සව සංවිධානය නොවන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ. එහෙත් වඩාත් වගකීම් සහගත ලෙස මෙම විනෝද අවස්ථාව සංවිධානය කරමින් ලන්ඩන් වැසියන්ට අත්‍යවශ්‍යම උත්සව ප්‍රීතිය ලබාදීම සම්බන්ධයෙන් සිය කණ්ඩායම දැඩි කැපවීමෙන් කටයුතු කරන බවත් එහි සංවිධායකයන් සඳහන් කරයි.