බ්‍රසීලයේ වත්මන් ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝ එරට තුළ ව්‍යාප්ත නව කොරෝනා වෛරසය හසුරුවන ආකාරය පිළිගත නොහැකි බව හිටපු ජනාධිපතිවරයෙකු වන ලූලා ද සිල්වා පවසයි. ඒ අනුව ජනපතිවරයා
මෙම වසංගතය දැන් 'සමුල ඝාතන අවියක්’ බවට පත් කරගෙන ඇතැයි ඔහු චෝදනා කර සිටියි.

මේ වනවිට බ්‍රසීලය තුළ හතළිස් ලක්ෂයකට අධික නව කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇති අතර, ඉන් 127,000 ක් මරණයට පත්ව ඇත. ඒ අනුව මේවනවිට නව කොරෝනාව රට තුළ දරුණු තත්වයක් බවට පත්ව ඇති බවත්, ජනපති බොල්සොනාරෝගේ වගකීම් විරහිත හැසිරීම් ඇතුළුව අන්තනෝමතික ක්‍රියා මෙලෙස තත්ත්වය දරුණු වීමට හේතු වූ බව ලූලා පවසයි.

"අද මෙය සමුල ඝාතන අවියක් බවට පත් කරගෙන. ඔව්. බොහෝ මරණ වළක්වා ගන්න පුළුවන්කම තිබුණා." ලූලා පවසයි. 2003 වසරේ සිට 2011 වසර දක්වා ධුර කාල දෙකක් බ්‍රසීලයේ ජනාධිපති ධුරය දැරූ ලූලා ද සිල්වා මේ වන විට 74 වියේ පසුවෙයි. මේ අතර ලබන වසරේ පැවැත්වෙන බ්‍රසීල ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමටද ලූලා අපේක්ෂා කරමින් සිටින අතර, මෙම අදහස් දැක්වීම එම පිවිසීම සඳහා ලබා ගන්නා අවස්ථාවක් බවටද පත්ව තිබේ.

සිය පාලන සමය තුළදී සිදුකළ බවට එල්ල වූ බලය අයුතු ලෙස භාවිත කිරීමේ චෝදනා සහ මූල්‍ය වංචා චෝදනා යටතේ ඔහු පසුගිය කාලසීමාවේදී බන්ධනාගාරගතව සිටි අතර, පසුගිය නොවැම්බර් මාසයේදී ඉන් නිදහස ලැබීය.