
ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ කඩිනමින් පරික්ෂා කිරීම සඳහා විශේෂ ස්කැනර් යන්ත්‍ර සවි කිරීමට තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියයි. අපනයනකරුවන්ගේ ඉල්ලීමක් අනුව අපනයන භාණ්ඩ පරීක්ෂාව
කඩිනමින් කිරීමට වහා අවශ්‍ය පියවර ගන්නැයි සංචාරක ඇමැති ප්‍රසත්ත රණතුංග මහතා ගුවන්තොටුපළ බලධාරීන්ට පෙරේදා (6) උපදෙස් දුන් බවද එම අමාත්‍යාංශය පවසයි. දැනට ගුවන් මගින් භාණ්ඩ අපනයනයට පෙර ගුවන් තොටුපළට ප්‍රවේශ වන ස්ථානයේ දී හා ගුවන් තොටුපළට භාණ්ඩ පැටවීමට පෙර පරික්ෂාවට ලක් කෙරෙන අතර මෙම ස්ථාන දෙකට විශේෂ ස්කෑනර් යන්ත්‍ර සවි කර නිලධාරින් යොදවා එහි කාර්යක්යමතාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙසද ඇමැතිවරයා මෙහිදී අදාළ අංශවලට උපදෙස් දී ඇත.
භාණ්ඩ අපනයනය විධිමත් කිරීම හා අපනයනකරුවන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා සංචාරක අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙම උපදෙස් දුන්නේය. රාජ්‍ය ඇමැති ඩී.වී. චානක මහතා සමග අපනයනකරුවෝ, ගුවන් හමුදා බලධාරීහු ගුවන් තොටුපළ බලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. අපනයනකරුවන් මෙහිදී අමාත්‍යවරයාට පෙන්වාදී ඇත්තේ කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන විට භාණ්ඩ පරික්ෂාව ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට නම් එහි ස්කෑනර් යන්ත්‍ර සවි කළ යුතු බවය. විශේෂයෙන් අධිශීත භාණ්ඩ පරික්ෂාව කඩිනමින් සිඳුවිය යුතු බවත් එසේ නොමැති වුවහොත් එම භාණ්ඩවල ගුණාත්මකභාවයට හානි සිදුවන බවත් අපනයනකරුවෝ මෙහිදී පෙන්වාදී ඇත. එමෙන්ම මෙම පරීක්ෂණ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් තමන්ට විශාල ලෙස පාඩු සිදුවන බවටද එහිදී අපනයනකරුවෝ ඇමැතිවරයාට පැමිණිලි කර තිබුණි. ශ්‍රී ලංකා රේගුව, ගුවන් හමුදාව, ගුවන් සමාගම් හා අපනයනකරුවන් අතර වට මේස සාකච්ඡාවක් කැඳවා වහාම මෙම ගැටලුවලට විසඳුම් ලබාදෙන්නැයිද සංචාරක අමාත්‍යවරයා මෙහිදී ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාට උපදෙස් දී ඇත.
ඉකුත් වසරේදී කටුනායක ගුවන් තොටුපළ මගින් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැටඑක්දහසක ගුවන් භාණ්ඩ මෙහෙයුම් සිදු කර තිබෙන අතර ඉන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදාහක් අපනයන භාණ්ඩ බවද සඳහන් වේ. කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග ගුවන් තොටුපළ මගින් මෙහෙයුම් නතර කෙරුණ ද පසුව භාණ්ඩ අපනයන හා ආනයනය මෙහෙයුම් ඉතා කඩිනමින් ආරම්භ කෙරුණු අතර පසුගිය කොවීඩ් වසංගත කාලය තුළද අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවූ බවද එහිදී අනාවරණය විය.
-තිළිණ ද සිල්වා-