එප්පාවල පොස්පේට් නිධිය විධිමත්ව භාවිතයට ගතහොත්
ඉදිරි වසර 200ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේදී ඊයේ (09දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පොහොර ආනයනය සඳහා රුපියල් බිලියන 10ක පමණ පිරිවැයක් වාර්ෂිකව විදේශවලට ඇදී යන බවත් පොහොර නිෂ්පාදනය ඇරඹීමෙන් එම මුදල ඉතිරි කරගත හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී පෙන්වා දුන්නේය.

එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සිදු කරමින් පවතින අධ්‍යයන කටයුතු එළඹෙන වසරේ මාර්තු මස අවසන් වීමට නියමිත බවත්, ඒ අනුව එම නිධිය භාවිතයට ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනෙනු ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කීය.

- නිදර්ශනී වික්‍රමසිංහ -