දහඅට හැවිරිදි තරුණියක් සමඟ පානදුර පිංවත්ත ප්‍රදේශයේ හෝටලයක හෙරොයින් මත්කුඩු පානය කරමින් සිටි තරුණයන් සිවු දෙනකු ඉකුත් 28 වැනිදා අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.


අත්අඩංගුවට ගත් එම පිරිස අතර මත්කුඩු ජාවාරම්කරුවකු සහ තරුණියගේ පෙම්වතා ද සිටින බව පොලිසිය කියයි. ඔවුන් සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය බාරයට ගෙන ඇත.

තරුණියක් ඇතුළු පිරිසක් පිංවත්ත ප්‍රදේශයේ හෝටලයක කාමරයක් කුලියට ගෙන මත්කුඩු පැකට් කරන බවට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරික්ෂක අයි.එම්.එස්. බණ්ඩාර මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි. ලද තොරතුරු අනුව එම හෝටලය කරා ගිය පොලිස් නිලධාරින් එම සැකකරුවන් සිටි කාමරයේ දොර විවෘත කරන ලෙස පැවසුව ද ඔවුන් විවෘත නොකිරීම නිසා ඇතුළට ගොස් පරික්ෂා කිරීමේ දී කාමරය තුළ ඔවුන් මත්කුඩු පානය කරමින් සිටි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

තරුණියගේ පෙම්වතා තරුණිය ද මත්කුඩු පානයට යොමු කර ඇය මිතුරන් සමඟ විනෝද වෙමින් ඔහු ද මක්කුඩු පානය කිරීම සඳහා පැමිණ සිටින බවට ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිසට මත්කුඩු සපයා ඇත්තේ අත්අඩංගුවට ගත් මත්කුඩු ජාවාරම්කරු බව ද විමර්ශනයේ දී හෙළි වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් තරුණිය සහ පෙම්වතා වස්කුඩුව පදිංචිකරුවන් බවත් සෙසු පිරිස පානදුර පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කරයි.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ -