අන්තර්ජාලය හරහා ජනතාවගේ මුදල් වංචා කිරීමේ චෝදනාව මත විදේශීය ජාතිකයන් දාහතරදෙනෙකු හා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය හා තොරතුරු තාක්‍ෂණ භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා පැවසීය.



විවිධ ත්‍යාග හිමිව තිබෙන බවට හා ලොතරැයි දිනුම් ඇදී තිබෙන බවට පවසා අදාළ භාණ්ඩ හා මුදල් එවීමට රේගු ගාස්තු වැනි දෑ සඳහා මුදල් අවශ්‍ය බව පවසමින් මෙම ජාවාරම් ක්‍රියාව සිදුකර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

ජාවාරම්කරුවන්ට හසුවීම පිළිබඳ පැමිණිලි එකසිය එකක් පොලීසියට ලැබී තිබූ බවත්, ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී ජාවාරම්කරුවන් රුපියල් මිලියන හැට එකක මුදලක් වංචා කර තිබෙන බවට හෙළි වී තිබෙන බවත් ලාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

මේ නිසා ලොතරැයි දිනුම් හා ත්‍යාග ලබාගැනීම සඳහා විවිධ ගිණුම්වලට මුදල් බැර කරන ලෙස මුහුණුපොත හරහා හෝ ඊ-මේල් සහ එස්.එම්.එස්. පණිවිඩ වැනි දෑ තුළින් ඉල්ලීම් කළහොත් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් නොදන්නා ගිණුම්වලට කිසි විටෙකත් මුදල් බැර නොකරන ලෙසත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ලාල් සෙනෙවිරත්න මහතා පැවසිය. එසේම ලැබුණු පැමිණිලිවලට අනුව නයිජීරියානු ජාතිකයන් හතරදෙනෙක්, තායිලන්ත ජාතිකයන් පස්දෙනෙක්, චීන ජාතිකයන් පස්දෙනෙක් හා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් එම පිරිස් රඳවා තබාගෙන ප්‍රකාශ ලබාගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


- ඉන්දික හේවාවිතාරණ -